තව දවසක්.
පෘථිවියෙන් සිතාගත නොහැකි තරමි දුර කයිපර් වළල්ලේ සිටින නිධිකට නම් අලුත් දවසකට පායන ඉරක් නැත. හිරු ඉතා ඈත විශාල තරුවක් ලෙස නිමක් නැති අභ්‍යවකාශය තුළ දිලුනත්, ගෙදර සිටිනා විට පායන හිතමිතුරු ඉර මෙය නම් නොවේ. සුපුරුදු සූර්ය චක්‍රය නොමැති වුනත්, හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයේ අනෙකුත් ග්‍රහක සම්පත් ඉංජිනේරුවන් මෙන් නිධික ද පෘථිවි කාලයට වැඩ කළේය. ඔහුගේ ආයතනය ඔහුට ශ්‍රී ලංකා කාලයට වැඩ කිරීමට අවස්ථාව ලබා දුන්නේ ය. කයිපර් වළල්ලේ අග කොටසේ ධූමකේතු හාරන නිධිකට ඕනෑම පණිවිඩයක් පෘථිවියට යැවීමට පැය 7ක් පමණ ගත වන නිසා ඹහුට තම බිරිද හෝ දුව සමග සජීවී ලෙස කතා කිරීමට ලැබුනේ නැත, සියලුම සන්නිවේදනය සිදු වූයේ ඉස්සර ඊ-මේල් පණිවිඩ යවනවා මෙන් විඩීයෝ පණිවිඩ පටිගත කර එහා මෙහා යැවීමෙනි.
හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයේ ඩියුටීරියම් පතල් යානා දහයෙන් එකක, එකම ගගන නාවිකයා ලෙස සිටි නිධිකට තම වත්මන් කොන්ත්‍රාත් කාලයෙන් අවුරුදු දෙකක් පමණ ඉතුරුව තිබිණි. මේ කාලය තුළ ඔහුගේ කාර්යය වූයේ ආයතනය මගින් පෙර සොයාගන්නා ලද, කයිපර් වළල්ලේ ඩියුටීරියම් බහුල ග්‍රහක එකින් එකට පතල් යානය ගෙන යමින්, එහි තිබූ විවිධ හාරන මෙවලම් වලින් මෙම ග්‍රහක වලින් ඩියුටීරියම් ඉවතට ගෙන යානය පිටත කන්ටේනර් වලට බහා එක් රැස් කිරීමයි. ඩියුටීරියම් වත්මන් කල, විශේෂයෙන් ම මනුෂ්‍ය වර්ගයා තම සෞරග්‍රහ මණ්ඩලයෙන් එහාටත් යන මෙවන් කලක, ඉතා වැදගත් න්‍යෂ්ටික විලයන ඉන්ධනයක් ලෙස විශාල ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයකි.
නිධිකගේ යානය නමින් හිරානෝ-35 විය. කිසිම ලස්සනක් නැති සෘජුකෝණාශ්‍රාකාර හැඩතල යොදාගෙන නිමවා තිබූ මීටර් 750ක් පමණ දිගැති මේ යානයේ පසුපස බාගයම සිල්න්ඩරාකාර එන්ජිම විය. යානය දෙපස ඝනක-හැඩැති ඩියුටීරියම් කන්ටේනර් දහසක පමණ පෝලිම් දෙකක් විය. එන්ජිම, ඉන්ධන හා අනෙකුත් උපාංග වලට යන ඉඩ ප්‍රමාණය නිසා නිධිකට වාසය කිරීමට තිබූයේ කුඩා කාමර දෙකක පමණ ඉඩ ප්‍රමාණයක ය. හොකයිඩෝ ආයතනයේ පතල් යානා වල මූලික චාලක බලය සපයනු ලැබූයේ අයන එන්ජිමක් මගිනි. අයන එන්ජිම තුළ ඇත්තේ සෙනෝන් වායුවයි. මෙම වායුව තුළට එන්ජිම මගීන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් විදියි, එමගින් වායු අංශු අයනීකරණය වෙයි. එන්ජිමේ පිටුපස කොටසේ ඇති සෘණ ආරෝපණයක් සහිත ලෝහ ජාලයක් මගින් අයනීකරණය වූ සෙනෝන් අංශු ආකර්ෂණය කර එන්ජිම පිටුපසින් පිටතට විදියි, මෙසේ අංශු ඉවතට තල්ලු වන නිසා එන්ජිම ඉන් විරුද්ධ දිශාවට තල්ලු වේ. ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයකින් අයන එන්ජිමකට දිගු කාලයක් ක්‍රියාත්මක විය හැක. හොකයිඩෝ ආයතනයේ සිටිනා සල්ලි ගරන්නන් සිතුවේ ලාබය ගැන මිස වේගය ගැන නම් නොවේ, හිරානෝ-35 යානයට එක් ධූමකේතුවක සිට තවත් ධූමකේතුවක් වෙත යාමට සමහරවිට මාස ගනන් ගත විය. අයන එන්ජිම න්‍යෂ්ටික විලයන එන්ජිමකට වඩා කෙතරම් අඩු බල එන්ජිමක් ද යත්, අයන එන්ජිමෙන් පමණක් ට්‍රයිටන් සිට පැමිණියා නම් නිධිකට කයිපර් වළල්ලට පැමිණීමට අවුරුදු 15ක් පමණ ගත වන්නට ඉඩ තිබිණි! වාසනාවකට ට්‍රයිටන්-කැන්ටලූප් හි යානා තොටුපලින් පිටත් වන හිරානෝ-35 යානයට න්‍යෂ්ටික එන්ජිමකින් කයිපර වළල්ල දෙසට මුල් තල්ලුව දී තිබිණි.
ධූමකේතු දෙකක් අතර ගමන් කිරීමට ගත වන මාස ගනන් කාලය නිධික ගත කළේ ශිශිරතාරක නින්දේ ය. යානයේ පරිගණයකට උල්කා හෑරීමේ සියලුව කාර්යයන් තනිවම ඉටු කිරීමේ හැකියාව තිබුණි. නිධික වැනි ග්‍රහක සම්පත් ඉංජිනේරුවන් සිටියේ පරිගණකයෙන් ගන්නා ක්‍රියාමාර්ග අනුමත කිරීමට පමණි. මේ මුලු කාර්යයම යානයට තනිවම ඉටු කිරීමට හැකි වුවත් කිසියම් රක්ෂණයට අදාළ හේතුවක් නිසා හොකයිඩෝ ආයතනය මගින් පතල් යානා වල එක් ගගන නාවිකයෙක් පමණක් යවනු ලැබීය.
තව දවසක්. හිරානෝ-35 යානයේ පරිගණකය මත ක්‍රියාත්මක වන කෘත්‍රිම බුද්ධිය (නිධික එය ඇමතුවේ “හිරා” නමිනි) නිධිකව අවදි කළේ යානය මීළග ධූමකේතුවට ළගා වී ඇති බව දැනුම් දෙමිනි.
“ආයුබෝවන් නිධික, ඇත්ත වශයෙන් ම අප මාස 8ක ගමනකට පසුව අපගේ මීළග නැවතුමට ළගා වී තිබෙනවා. ඔබගේ නින්ද සුවදායක වූවායැයි මම විශ්වාස කරනවා. ඔබට අද දවසේ ඔබගේ දින චර්යාව ගොඩනගාගැනීමට උදව් අවශ්‍යද?”
“මට ඕන නැති මගුලක් නෑ බං, උඔ වැඩේ කරගෙන යනවනෙ?”
“ඇත්ත වශයෙන් ම නිධික, සියලු දේ හොදින් සිදු වනවා.”
මෙවැනි පතල් යානයකට “ඇත්ත වශයෙන් ම” හිරා වැනි සංකීර්ණ කෘත්‍රිම බුද්ධියක් අවශ්‍ය නොවේ. හිරා පවා ධූමකේතු හෑරීමේ දී කරන්නේ කාර්යක්ෂම ශ්‍රම විභජනයක යෙදෙන උපාංග රැසකට අණ කිරීම පමණි. මේ අණ වලින් ද 10% පමණ නිධික හරහා යා යුතු ඒ්වා විය. සමහර අවස්ථාවල දී හිරා තමාගේ “දින චර්යාව සකසා දීම” වැනි වැඩ බාරගන්නට තැත් කරන්නේ මේ හේතුව නිසා දැයි නිධික ට සිතේ. එහෙත් මෙවන් යන්ත්‍ර තුළ ඇති හොල්මන් සෙවීමට නිධික කෘත්‍රිම බුද්ධි ඉංජිනේරුවෙක් නොවේ. ඔහුට ඇත්තේ කම්කරු ඩිප්ලෝමාවක් හා ගගනගාමී පුහුණුව පමණි. ඒ් දෙකෙන් ද දැන් වැඩි වැඩක් නැත. දැන් වැඩකට ඇත්තේ කා බී නිදාගැනීම සහ හිරා ට වාග් සංඥා දීම ය.
HUBL-5432 යන කාණ්ඩ අංකය ලබා දී තිබූ ග්‍රහකය කිලෝමීටර් 5ක් පමණ දිගැති ඝනකාභ-හැඩැති අයිස් කුට්ටියක් විය. මෙහි ඩියුටීරියම් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් පමණ ඇති බව හිරා අනුමාන කර තිබුණි. විශ්වයේ පවතින ඩියුටීරියම් වලින් විශාල ප්‍රමාණයක් මහා පිපිරීමෙ දී, එනම් විශ්වයේ උපතේ දී, නිර්මාණය වී ඇත. තරු තුළදී නිපදවෙන ඩියුටීරියම් තරැව තුළදී ම න්‍යෂ්ටික විලයනය මගින් හීලියම් බවට පත් කරන නිසා තරු වලින් ඩියුටීරියම් පිට වන්නේ ඉතා අඩුවෙනි. පෘථිවියේ සයුර තූල ඩියුටීරියම් විශාල ප්‍රමාණයක් ඇත. නමුත් මෙම ඩියුටීරියම් මුහුදු ජලයෙන් පිරිපහදු කිරීමට වඩා ඊට වඩ බොහෝ ගුණයකින් වැඩි ඝනත්වයෙන් ඩියුටීරියම් ඇති මෙවැනි ග්‍රහක වලින් උකහා ගැනීම වඩා ලාබ ය. ඇරත් පෘථිවි සාගර වලින් මහා පරිමාණයෙන් ඩියුටීරියම් පිරිපහදු කිරීමට යෑමෙිදී සිදු වන පාරිසරික විනාශය (හා ඉන්පසු ඇති වන මහා පරිමාණ ජනගහන විරෝධය) නිසා එය සුදුසු උත්සාහයක් නොවේ. කයිපර් වළල්ලේ ඇති මෙවන් ධූමකේතුවක් කුඩු පට්ටම් කර දැමුවත් බල්ලෙක් වත් බලන්නේ නැත. අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ග්‍රහක වළල්ල ද ඩියුටීරියම් බහුල ග්‍රහක වලින පිරී ඇත. එහෙත් අන්තර්-තාරකා තරණයේ මූලික ඉන්ධනය වන ඩියුටීරියම් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඹ්ර්ට් වලාවේ ඈත පතල් හෑරීමේ උත්සාහයන් වලට හා ඉනුත් එහා ප‌්‍රොක්සිමා සෙනචූරි වෙත ළගදීම පිටත් වීමට නියමිත පළමු අන්තර්-තාරකා අභ්‍යවකාශ යානා 5න් සමන්විත “නිව් ඩෝන්” මෙහෙයුමටයි. ඒ නිසා සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින් ම ඇති කයිපර් වළල්ලෙන් ඩියුටීරියම් පතල් කර ප්‍රවාහනය කිරීම වඩා කාර්යක්ෂම ය. නිධික හා හිරානෝ-35 යානය හාරන ඩියුටීරියම් වලින් වැඩි ප්‍රමාණයක් යොදා ගනු ඇත්තේ අවුරුදු 400ක් පමණ ගත වන නිව් ඩෝන් මෙහෙයුම වෙනුවෙනි. අලුත් ඉරක්, අලුත් ලොවක් දකින්නට ශිශිරතාරක නින්දේ ගමන් ගන්නා 10000ක පමණ මිනිස් කැල ප්‍රොක්සිමා සෙන්ටෝරි වෙත යන ගමන පණ ගන්වන නිධිකගේ ජීවිතයට ද අලුත් දෙයක් තිබ්බා නම් හොද යැයි සිතේ. අවුරුදු 2ක පමණ කාලයක් බිරිද හා දියණිය නොදකින ඔහුට නැවත ගෙදර ගොස් ඔවුන් දැකීමද එක්තරා විදියක අලුත් දෙයකි.
HUBL-5432 වෙත සෙමින් ඇදෙන හිරානෝ යානය මගින් මුලින්ම පුපුරන ද්‍රව්‍ය පුරවන ලද සිලින්ඩර ගණනාවක් ධූමකේතුව මත රැදෙන ලෙස ඒ දෙසට විද ඒවා පුපුරවා හරින ලදී. හිරානෝ යානය මගින් එක්රැස් කරන්නේ මෙම මතුපිට පිපිරීම් වලින් නිදහස් වන අයිස් වල ඇති ඩියුටීරියම් පමණි. ධූමකේතුව සමග වේගය සම කර ඒ හා ගමන්ගන්නා හිරානෝ යානය මෙසේ පිපිරීම් මගින් නිදහස් වන අයිස් පිරිපහදු කර ඩියුටීරියම් වෙන් කර ගනී. මේ ආකාරයෙන් ඩියුටීරියම් ටොන් එකක් පමණ පිරිපහදු කර එක්රැස් කරගැනීමට මිනිත්තු 30ක පමණ කාලයක් ගත විය. HUBL-5432 තරම් විශාල ධූමකේතුවක් මේ අයුරින් ලබා ගත හැකි සම්පූර්ණ ඩියුටීරියමි සදහා හෑරීමට දවස් හතරක පමණ කාලයක් ගත විය. ඒ් දින හතරක කාලය තූළදී සියලු කාර්යයන් හිරා විසින් ඉටු කරනු ලැබී ය.
“නිධික, ඇත්ත වශයෙන්ම ඔබට කිව යුතු සිද්ධියක් සිදු වී තිබෙනවා.”
“කියපං බං ඉතින් තෙපර බබා ඉන්නෙ නැතුව”
“අපගේ ප්‍රතික්‍රියා පාලක පද්ධතියේ කුඩා ක්‍රියා විරහිත වීමක් සිදු වී තිබෙනවා.”
ප්‍රතික්‍රියා පාලක පද්ධතිය යනු කුමක් දැයි දැනගැනීමට නිධිකට “හොකයිඩෝ පතල් ඉංජිනේරු අත්පොත” යානයේ තිරයකට ගෙන පිරික්සීමට සිදුවිය (හිරාගෙන් මෙය අසා දැනගැනීමට හැකි වුවත් මේවා දැන සිටිය යුතු කරුණු නිසා නිධික ට හිරාගෙන් එය ඇසීමට ලැජ්ජාවක් හා සුළු බයක් ද දැනුනි). මේ කියන්නේ හිරානෝ යානය දිශානුගත කිරීම සදහා සවි කර ඇති ද්විතීයික රොකට් එන්ජිම් මාලාව ගැන බව ඔහුට දැනගන්නට ලැබිණි. අයන එන්ජිම යොදාගෙන අභ්‍යවකාශ යානාවක් හැරවීමට උත්සාහ කළහොත් මාස ගණනක් එය හැරවීමට සිදුවනු ඇත. හයිඩ්‍රසීන් යොදාගෙන ක්‍රියාත්මක වූ මෙම එන්ජිම් මාලාව තුන්වරක් සමතිරික්ත ලෙස හිරානෝ යානයට සවි කර තිබිණි. එනම් එකම එන්ජිම් මාලාව තුන් වරක් නිෂ්පාදනය කර එක් එන්ජිමක් ක්‍රියා විරහිත වූවොත් ඊළග එන්ජිම ක්‍රියාත්මක වන ලෙස නිමවා ඇති බව අත්පොතේ සදහන් විය.
“හිරා, මේ එන්ජින් එකේ රිඩන්ඩන්ට් කොපි දෙකක් තියනව නේද? ෆේලසේෆ් එක වැඩ කරේ නැද්ද?” අත්පොතේ මීළගට සදහන් කර තිබූයේ නිෂ්ක්‍රිය සුරක්ෂිත පද්ධතිය පිරික්සන ලෙස ය.
“ඇත්ත වශයෙන් ම, නිෂ්ක්‍රිය සුරක්ෂිත පද්ධතියේ ඇති සමතිරික්ත එන්ජිම් ද්විත්වයම ක්‍රියා විරහිත වී තිබෙනවා. මේ අවස්ථාවේ දී ඔබට දැනෙන ආතතිය කළමනාකරණය කරගැනීමට ආධාරයක් ලෙස හොකයිඩෝ පතල් ඉංජිනේරු අත්පොතේ ඇති ‘අභ්‍යවකාශයේ දී ආතතිය කළමනාකරණය කරගැනීම’ පරිච්ඡේදය අධ්‍යයනය කරන ලෙස නිර්දේශ කොට තිබෙනවා. මම ඒ පර්ච්ඡේදය ඔබට ඇසෙන්නට කියවන්න ද?”
“අත්පොත් රෙද්ද තියාගනින්. දැන් එන්ජිම හදන්න මම මොකද්ද කරන්න ඕන?”
“දැනටමත් අප ධූමකේතුව වෙත ප්‍රවේශ මාර්ගයට එළඹී අවසානයි. මාගේ නිගමනය නම් ප්‍රතික්‍රියා පාලක පද්ධතියට හයිඩ්‍රසීන් සපයන බට මිදී ඇති බවයි. මේ බට අපගේ ධූමකේතු ප්‍රවේශයේ දී සිදුවන අයන ඒන්ජින් දහනයේ දී පිටවන තාප ශක්තිය හැරවීම මගින් නැවතත් යථා තත්වයට පත් වනු ඇතැයි මම අනුමාන කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී ඉංජිනේරු ක්‍රියාකාරිත්වයක් මේ කාර්යයට අවශ්‍ය වන්නේ නැහැ.”
“මාව ඕන නැත්තන් ඇයි බං මාව බය කරන්නෙ?”
“මාගේ මෙහෙයුම් පුහුණු කර ඇත්තේ සියලුම පද්ධති වල ඇති ක්‍රියා විරහිත වීම් ඔබට දැනුම් දීමටයි. හොකයිඩෝ පතල් ඉංජිනේරු අත්පොතේ මේ බව පැහැදිලිව සදහන් කොට තිබෙනවා. මම ‘හොකයිඩෝ සුවිශේෂී පතල් කෘත්‍රිම බුද්ධිය’ පරිච්ඡේදය ඔබට ඇසෙන්නට කියවන්න ද?”
“නවත්තපන් යකෝ”
හිරානෝ යානයේ එක් පසක කුඩා කවුළුවකින් HUBL-5432 ධූමකේතුව දිස් විය. යානය දැන් ධූමකේතුවේ භ්‍රමණ වේගය සම කර ඒ හා සමග ඈත සිටිනා සූර්යයා වටා ගමනේ යෙදෙයි. එහෙත් වැඩි කාලයක් හිරානෝ-35, HUBL-5432 ධූමකේතුවේ ගමන් සහචරයා ලෙස නොසිටිනු ඇත. මතුපිට අයිස් වලින් ලබා ගත හැකි ඩියුටීරියම් සියල්ලම පිරිපහදු කිරීමට ගත වන්නේ තවත් දවස් හතරකි.
නිධිකගේ ජීවත් වීමේ සම්භාවිතාව කැරකෙන රූලෙට් මේසයකට සම කළ සිද්ධිය නිධික දුටුවේ වත් නැත. ඔහුට එය දැනුනේ වත් නැත.
“නිධික, ඇත්ත වශයෙන් ම ඔබට දැනුම් දිය යුතු විශේෂ සිද්ධියක් ඉස්මතු වී තිබෙනවා. HUBL-5432 ධූමකේතුවේ පතල් හෑරීමේ කටයුතු වල දී ධූමකේතුවේ අභ්‍යයන්තරයේ තිබූ වායු සමුදායක් පිට වී එමගින් හිරානෝ-35 යානය එහි ගමන් පථයෙන් මදක් දෝලනය වී තිබෙනවා.”
“අංශක කීයකින් ද?”
“මාගේ ගණනය කිරීම් වලට අනුව ඇත්ත වශයෙන් ම ධූමකේතුවට සමාන්තර සිරස් තලයෙන් යානය අංශක 57කින් පමණ ඉවතට දෝලනය වී තිබෙනවා. සාමාන්‍යයෙන් නම් ප්‍රතික්‍රියා පාලක පද්ධතිය මගින් මෙවැනි දෝලනයක් ඉතා පහසුවෙන් නිවැරදි කළ හැකියි. එහෙත් ඇත්ත වශයෙන් ම, මා පෙර ඔබට දැනුම් දුන් පරිදි, හිරානෝ-35 යානයේ ප්‍රතික්‍රියා පාලක පද්ධතිය හා එහි සියලු සමතිරික්ත පිටපත් ක්‍රියා විරහිත වී තිබෙනවා. මේ නිසා හිරානෝ-35 යානයේ ගමන් පථය නිවැරදි නොකළහොත් යානය එහි වත්මන් ගමන් පථයට අනුව ගමන් කරන්නේ ගැඹුරු අභ්‍යවකාශය තුළටයි.”
“ඉස්සලේලා කිව්වේ ආර්සීඑස් එක හදන්න ඕන නෑ කියලා? උඹ කියපු විදියට ඒක හරි ගියෙ නැද්ද?”
“මා උපකල්පනය කළ පරිදි අයන එන්ජින් දහනයෙන් ප්‍රතික්‍රියා පාලක පද්ධතියේ හයිඩ්‍රසීන් වල උෂ්ණත්වය යථා තත්වයට පත් වී නැහැ… සමාවන්න. මා පෙර ඔබට ලබා දුන් විසදුම වූයේ අයන එන්ජිමේ තාපය හයිඩ්‍රසීන් බට වලට හැරවීමට යි. මේ සදහා අවශ්‍ය අවසර ලබාගැනීමට ආරම්භ කරන්න/නවත්වන්න ප්‍රේරකය ඔබගේ යහන අසළ තිරය මත දිස්ව තිබුණා. ඔබට එය අනුමත කරන්නට අමතක වූවා ද?”
“මම මෙතනනෙ හිටියෙ? ඇයි මෙතන ස්ක්‍රීන් එකේ දැම්මෙ නැත්තෙ? දැන් ඒකෙන් වැඩක් නෑ. ඇයි යකෝ වොයිස් ඉන්ටර්ෆේස් එකෙන් මගෙන් ඇහුවෙ නැත්තෙ?? ඒකෙනුත් වැඩක් නෑ. මේක හදන්නෙ කොහොමද කියපන්??”
“කුඩා දාහකයකින් යානය පිටත ඇති හයිඩ්‍රසීන් බට රත් කළහොත් අපට ප්‍රතික්‍රියා පාලක පද්ධතිය නැවත ක්‍රියාතමක කළ හැකි වේයැයි මා අනුමාන කරනවා.”
“එළියට ගිහින්? උඔට ෂුවර් නේ මේ පාර?”
නිධිකට අභ්‍යවකාශ ඇදුම් ක්‍රියාකාරිත්වයට අදාළ ව තිබූයේ මූලික පුහුණුව පමණි. පළපුරුදු නැති බව නිසා හටගන්නා බිය ඔහුට දැනෙන්නට විය. යානයේ වා අගුල වෙතට ගමන් ගමන් කරනා අතර අත්පොතේ “අභ්‍යවකාශ ඇවිදීමකට සූදානම් වීම” පරිච්ඡේදය උඩින් පල්ලෙන් ඔහු බලා ගත්තේ ය. නින්දෙන් වුවත් අභ්‍යවකාශ ඇදුම ළා ගැනීමට හැකි වන තරමට ඔහුගේ පුහුණු සාජන් එම ක්‍රියාවලිය ඔහුට පුරුදු කෙරෙව්වේ ය. සාජන් ට පින් සිදුවන්නට නිධිකට ඒ් දැනුමෙන් දැන් ජීවිතය බේරාගැනීමට හැකි වනු ඇත.
කවුළුවකින් පිටත බැලූ නිධිකට, ධූමකේතුව සුළු කාලයකට වරක් දර්ශන පථයට ඇතුළු වී එයින් යළිත් ඉවත් වන බව පෙනිණි.
“හිරා, අපි කැරකෙනවද?”
“ඇත්ත වශයෙන් ම, HUBL-5432 ධූමකේතුවෙන් පිට වූ වායු ධාරාව මගින් හිරානෝ-35 යානය මත ඇති කළ බලයෙන්, යානය තත්පර 31.67ක පරිභ්‍රමණ චක්‍රයකට ඇතුළත් වී තිබෙනවා. සමාවන්න, ප්‍රතික්‍රියා පාලක පද්ධතිය ක්‍රියා විරහිත වී ඇති නිසා මේ පරිභ්‍රමණය අපට නිවැරදි කළ නොහැකියි.”
“ස්පේස් වෝක් එකට ඒකෙන් අවුලක් නෑ නේ?”
“මම දන්නා තරමින් නැහැ. ගගනගාමීන් ඕනෑ තරම් අවස්ථා වලදී පරිභ්‍රමණය වන යානා වල පිටත අළුත්වැඩියා කටයුතු වල නිරත වනවා.”
වා අගුලට ඇතුළු වූ නිධික අභ්‍යවකාශ ඇඳුම ලා ගත්තේ ය. අතීතයේ තිබූ අභ්‍යවකාශ ඇදුම් වලට වඩා වත්මන් අභ්‍යවකාශ ඇදුම් සමඟ වැඩ කිරීම වඩා පහසු ය. අභ්‍යවකාශ ඇදුම් කොතරම් දියුණු වූවත් අභ්‍යවකාශයේ ඇති භයානකකම අඩු නොවේ, ඒ නිසා පුහුණු සාජන් ගේ අණ සිහි කරමින් නිධික සියලුම ආරක්ෂක පරීක්ෂා මැනවින් ඉටු කළේ ය. අභ්‍යවකාශ ඇදුමේ හිස් ආවරණය පළදිනවාත් සමගම එක් වරම ඇති වන නිෂ්ශබ්දතාවය තුළින් හිරා ඔහුට කතා කළේ ය.
“නිධික, මේ ඔබගේ පළමු අභ්‍යවකාශ ඇවිදීම නිසා, හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයේ නිල නිර්දේශයට අනුව, ඔබගේ හිස්වැසුම් තිරය මත දැන් දිස්වන ආරක්ෂක වීඩියෝව ඔබ නැරඹිය යුතුයි.”
“මේ මගුල පස්සෙ බලන්න බැරිද?”
“සමාවන්න නීධික, නෛතික හේතු නිසා එය අනිවාර්යයෙන්ම ඔබ නැරඹිය යුතුයි. මෙය මා හට ප්‍රලේඛ කිරීමට නොහැකියි.”
වීඩියෝව නරඹා වා අගුල අරින ලෙස අණ දෙන නිධිකට දැනුනේ චකිතයකි. ආතර් සී. ක්ලාක් ගේ හැල්-3000 මෙන් හිරා ද දොර ඇරීම ප්‍රතික්ෂේප කරා නම් එක අතකින් හොද යැයි ඔහුට සිතුනි. හැල් ට සාපේක්ෂව නම් හිරා ටිකක් මෝඩ උනත් හොද ය, වැදගත් ම දෙය නම් ඌ අහිංසක ය.
වා අගුලෙන් පිටතට පැමිණ නිධිකට දිස් වූයේ නොනවත්වා භ්‍රමණය වන විශ්වයකි. නොගිණිය හැකි තරම් විශාල තරු ප්‍රමාණයක්, ක්ෂිරපථයේ වායු හා දූවිලි වලාවන් පසුබිම් කොට ගෙන නොනවත්වා කැරකේ. ධූමකේතුව, කතුරු ඔන්චිල්ලාවක් කැරකෙද්දී එහි සිටිනා අයෙක් බිම සිටිනා අයෙක් ව හැම රවුමේදී ම පසු කරනවා මෙන් විටින් විට දර්ශන පථයේ එක් පසකින් ඇතුළු වී අනෙක් පසින් පිට වී යයි. කැරකෙන තාරකා සාගරය මැද නිධිකට ඔහු දන්නා අදුනන කිසිදු ග්‍රහ වස්තුවක්, රාශියක්, මන්දාකිණියක් සොයාගත නොහැකි විය.
ඔහුට දැනුනේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් තනිකමක් හා බියකි. මෙතරම් කාලයක් අභ්‍යවකාශ යානා තුළ ගත කළත් එයින් පිට අභ්‍යවකාශයේ ඔහු ගත කර තිබූයේ මිනිත්තු කිහිපයකි. ගගනගාමී පුහුණුවේ දී මෙවන් භ්‍රමණය වන අවස්ථාවලට අදාළ පුහුණුව ලබා දෙන මුත් කැරකෙන විශ්වය දෙස බලා සිටින්නට ඔබ ව පුරුදු කරන්නේ නැත. අධි වේගයෙන් පරිභ්‍රමණය වන මේ විශ්වය හමුවේ දූවිලි අංශුවකටත් වඩා කුඩා හා නොවැදගත් වූ නිධිකට කළ හැකි වූයේ යානය පිටත ආධාරකයක එල්ලී හුස්මවත් නොගෙන එය දෙස බලා සිටීම පමණි.
“නිධික, ඇත්ත වශයෙන් ම ඔබ වා අගුලෙන් පිට වී ඇති බව දිස් වනවා. ඔබ ඉදිරියෙන් මීටර 20ක පමණ දුරින් ඔබ රත් කළ යුතු බටය තිබෙනවා. යානය පිටත ඇති ආධාරක අල්ලාගෙන ඔබට ඔබගේ ගමන පටන් ගත හැකියි.”
අල්ලා සිටි ආධාරකයෙන් එක් අතක් ඉවත් කළ නිධිකට එක් වරම එය රික්තය තුළට ඇදී යනවා මෙන් දැනුණි. එසවූ අත වහාම නැවත ආධාරකය මත පතිත විය.
“මට ඒ්ක…කරන්න බෑ හිරා…ඔක්කොම කැරකනෙවා…”
භ්‍රමණය වන විශ්වයම ඔහුගේ හිස තුළ භ්‍රමණය වන්නාක් මෙන් නිධික ට දැනුණි. කෙතරම් උත්සාහ කළත් ඔහුට අත ආධාරකයෙන් නැවතත් එසවීමට නොහැකි විය. යානයෙන් ඉවත නොබලා යානයේ බඳ දිගේ ඉදිරිය බැලීමට උත්සාහ කළත් යානයේ දුර අගට ඉහළින් නැවතත් කැරකෙන විශ්වය දිස් විය. ඒ භ්‍රමණය වන හිස් අවකාශය තුළට ආවර්තී මාර්ගයක තමා කැරකෙමින් වැටෙන බව නිධික ට දැනෙන්න ට විය.
“නිධික, ඔබට මා ඇසෙනවා ද? ඔබගේ ශාරීරික මානයන් ආරක්ෂිත මට්ටම් වලින් පහළට වැටී තිබෙනවා. නැවතත් වා අගුලින් යානයට ඇතුළත් වන ලෙස මා ඔබට අවවාද කර සිටිනවා. ඔබට මා ඇසෙනවා ද?”
………
“දැන් අපි මොකද කරන්නෙ?”
වා අගුලෙන් ට්ක වේලාවකට පෙර නැවත ඇතුළු වූ නිධික අභ්‍යවකාශ ඇඳුම උකහා දමා ප්‍රධාන පරිගණක තිරය අසළ විය. හිරානෝ-35 යානය තවමත් ගැඹුරු අභ්‍යවකාශය වෙත යන ගමන් පථයක ය. එය තවමත් තත්පර 31.67ක පරිභ්‍රමණ කාලයක් සහිතව පරිභ්‍රමණය වෙයි.
“ඇත්ත වශයෙන් ම, අපගේ අභ්‍යවකාශ අළුත්වැඩියා උත්සාහය අවාසනාවන්ත ලෙස අසාර්ථක වුණා.”
“අපගේ? උඹ නෙමෙයි නෙ යකෝ මැරෙන්නෙ? උඹට මේ රෙද්දෙ මොනව උනත් මොකද?”
“සමාවන්න නිධික, එහෙත් ඔබගේ ජීවත් වීම මා හට ඉතා වැදගත් බව මා අවධාරණය කර සිටිය යුතුයි.”
“හරි හරි. අපට කරන්න පුළුවන් මොකක් හරි දෙයක් තියනවද එළියට යන්නෙ නැතුව?”
“මේ අවස්ථාවේ දී නම්, ප්‍රතික්‍රියා පාලක පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමට අපට කළ හැකි දෙයක් නැහැ.”
“හොකයිඩෝ එකට කියල කාව හරි ගෙන්නගන්න පුළුවන් වෙයිද?”
ටික වේලාවක් මේ ගැන කල්පනා කළ හිරා,
“දැනටමත් හොකයිඩෝ ආයතනයට ස්වයංක්‍රීය ලෙස යානය මඟින් ආපදා සංඥාවක් යවා තිබෙනවා. නමුත් මා හට ඇති දත්ත වලට අනුව හොකයිඩෝ ආයතනයෙන් කයිපර් වළල්ල දෙසට මීලඟ අවුරුදු 10 තුළදී වත් තවත් යානාවක් එවීමේ සැලසුමක් නැහැ.”
“ඒ කියන්නෙ මම අවුරුදු 10ක් මෙතන වේලි වේලි ඉන්න ඕන කියලද?”
“ඇත්ත වශයෙන් ම අපගේ තත්වය ඊට වඩා මඳක් දරුණුයි. අපගේ වත්මන් ගමන් දිශානතිය අනුව අවුරුදු 10ක් තුළ අප දැන් සිටිනා ස්ථානයෙන් සෑහෙන දුරකට ගමන් කර තිබෙනු ඇති. හොකයිඩෝ ආයතනය මඟින් එවනා බේරාගැනීමේ මෙහෙයුම අප කරා ළඟා වීමට තවත් බොහෝ කාලයක් ගත වීමට ඉඩ තිබෙනවා.”
තමන් නැවතත් ගෙදර යෑමට යන අවුරුදු ගණනාව තුළදී දැනට අවුරුදු 4ක් වයසැති දියණිය ඔහු නැතිව හැදී වැඩෙනවා නිධික ට මැවී පෙනෙන්නට විය. ඇගේ අනාගතය වෙනුවෙන් කරන මේ රැකියාව නිසාම ඇගේ අනාගතය දැකීමට නොහැකි වීම දෛවයේ කෲර සරදමකි.
“මට නාකි වෙනකන් මේකෙ පාවි පාවි ඉන්න බෑ හිරා…මගෙ කෙල්ල මම නැතුව ලොකු වෙයි…මට කරන්න කිසිම දෙයක් නැද්ද හිරා?”
“ඇත්ත වශයෙන්ම නිධික, මට ඔබගේ කණස්සලය තේරුම් ගත හැකියි. අපගේ වත්මන් තත්වය අධ්‍යයනය කිරීමේදී මා හට අපට ඇති විකල්පයක් පෙනී ගියා. ඔබ ඒ ගැන සලකා බලන්නට කැමතිද?”
“ඔව්, කියන්න බලන්න”
“ඔබ දන්නවා ඇති හිරානෝ-35 යානයෙන් එක්රැස් කරනා ඩියුටීරියම් වලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නිව් ඩෝන් මෙහෙයුමට කියා. අපගේ වත්මන් ගමන් පථය, නිව් ඩෝන් මෙහෙයුමේ සියලුම ක්‍රියාකාරකම් නිසි අයුරින් සිදු වුවහොත්, ඒ මෙහෙයුම ප්‍රොක්සිමා සෙන්චෝරි වෙත ගමන් ගන්නා මාර්ගය වෙත අවුරුදු 4ක පමණ කාලයකින්, හරියටම නිව් ඩෝන් මෙහෙයුමේ විශාලම යානාව වන නිව් ඇම්ස්ටර්ඩෑම් කැපිටල් යානාව ඒ ලක්ෂ්‍යය හරහා ගමන් ගනිද්දීම ළඟා විය හැකියි. අප ළඟ ඇති එකතු කළ ඩියුටීරියම් ඉන්ධන නිව් ඩෝන් මෙහෙයුමට අවශ්‍යයි. ඒ නිසා හිරානෝ-35 යානාව රඳවාගෙන ඉන්ධන ඉවත් කරගෙන එය නැවතත් ට්‍රයිටන් දෙසට හරවා යැවීමෙදී සිදු වන ශක්ති වැය වීම මෙහෙයුමට බාධාවක් නොවේ. මාගේ ගණනය කිරීම් වලට අනුව මේ ක්‍රියාමාර්ගය ගතහොත් ඔබට අවුරුදු 8ක් ඇතුළත පෘථිවියට ළඟා විය හැකියි.”
“ෂුවර් ද නිව් ඇම්ස්ටර්ඩෑම් එකේ කැප්ටන් මිෂන් එක නවත්තලා මාව නලවලා ගෙදර යවන්න කැමති වෙයි කියලා?”
“නිව් ඇම්සර්ඩෑම් හා නිව් ඩෝන් මෙහෙයුමේ අනෙකුත් යානා වල නිලධාරීන් ද ගමනේ වැඩි කාලයක් ගෙවන්නේ ශිශිරතාරක නින්දේ. මට විශ්වාසයි යානයේ කෘත්‍රිම බුද්ධයේ ආධාරයෙන්, එනම් නිලධාරින් ගේ සම්බන්ධයක් නොමැතිව මෙම සම්පූර්ණ කාර්යය ම මට ඉටු කළ හැකි වේ යැයි කියා. ඇත්ත වශයෙන් ම, මා මේ වන විටත් නිව් ඇම්සටර්ඩෑම් හි කෘත්‍රිම බුද්ධිය අමතා මේ පණිවුඩය සැල කර අවසන්.”
“මම ඒ පණිවුඩය යවන්න අවසර දුන්නෙ නෑ නෙ? අනික තාම නිව් ඩෝන් මිෂන් එක පටන් අරන් නෑ නෙ? ඒකෙ දුවන ඒඅයි කොහොමද දැන් උඹ යවන මෙසෙජ් වලට උත්තර එවන්නෙ?”
“සමාවන්න නිධික, මා නිව් ඇම්ස්ටර්ඩෑම් යානයේ කෘත්‍රිම බුද්ධිය වෙත යැවූ පණිවිඩයේ වූයේ මූලික තොරතුරු පමණයි. එහි කිසිම ක්‍රියාකාරිත්වයක් ඉල්ලා තිබූයේ නැහැ. නිව් ඩෝන් මෙහෙයුමට අදාළ සියලුම කෘත්‍රිම බුද්ධීන් මූලික පුහුණුවෙන් පසුව මේ වන විට අන්තර්ජාලයට සම්බන්ධ කොට තිබෙනවා. ඒ නිසයි මට ඔවුන්ට පණිවිඩ යැවිය හැකි වන්නේ.”
“හරි දැන් අපි ඔ්ක කරා කියමුකො. හොකයිඩෝ එකේ උන් ඔ්කට කැමති වෙයිද?”
“හොකයිඩෝ ආයතනයට මෙයින් සිදු වන්නේ වාසියක් මිස පාඩුවක් නොවේ. ඔවුන්ට ඔබව බේරාගැනීමේ මෙහෙයුමක් එවීමට අවශ්‍ය වන්නේ නැහැ.”
“උන්ගෙන් මේ ගැන අහල හිටිය නම් හොඳ නැද්ද?”
“ඇත්ත වශයෙන් ම එය කළ හැකියි. මුල් උපාංග නිෂ්ක්‍රිය වීමේදී යැවූ පණිවිඩය ට්‍රයිටන් වෙත මේ වන විට ගමන් කර ඇති මුත් තවමත් පිළිතුරක් ලැබී නැහැ. ඔබගේ කොන්ත්‍රාත් කොන්දේසි වලට අනුව ආපදා අවස්ථාවකදී පිළිතුරු දීමට ආයතනයට පැය 12ක අවසර කාලයක් තිබෙනවා. මීළඟට වැඩට එන සන්නිවේදන ඉංජිනේරුවා අපගේ පණිවිඩය දුටු වහාම පිළිතුරු දේවි.”
“හොකයිඩෝ එකේ කාට හරි මේ වගේ දෙයක් උන පළවෙනි පාර මේක වෙන්න බෑ නෙ? මොකද්ද මේ වගෙ සිද්ධියකදි ස්ටෑන්ඩර්ඩ් ප‌්‍රොටොකොල් එක?”
“සාමාන්‍යයෙන් නම් මෙවන් සිද්ධි වලදී සිදු වන්නේ ආයතනයෙන් බේරාගැනීමේ මෙහෙයුමක් එවන තෙක් රැඳී සිටීමයි. නමුත් හිරානෝ-35 යානය අපගේ මඳක් සුවිශේෂී වූ වාතාවරණය නිසා එසේ බලා සිටීමට සිදු වන කාලය ඉතා දිගු විය හැකියි.”
“කම්පනි එකෙන් මොකක් හරි ගේමක් ඉල්ලලා හරි ඇපීල් එකක් දාලා හරි මේක ඉක්මන් කරගන්න බැරි වෙයි ද?”
“සමාවන්න නිධික, හොකයිඩෝ ආයතනයට අදාළ නෛතික කරුණු ගැන කිසිදු කතාබහක යෙදීමට මා හට අවසර නැහැ.”
“හරි හරි…හැබැයි උඔ කියන විදියට අපි මේ යන පාරෙ ගියොත් කොහොමත් අවුරුදු 4කින් නිව් ඇම්ස්ටර්ඩෑම් එක හම්බ වෙනවා.”
”ඔබ නිවැරදියි. අපගේ හා මෙහෙයුමේ ගමන් පථ වල දිශානති නිසා අපට බොහෝ දුරට නිව් ඇම්සටර්ඩෑම් හා එක් වීමට අවශ්‍ය කාලය ලැබෙන බව මාගේ ගණනය කිරීම් වලින් පෙනී යනවා. අවශ්‍ය වන්නේ මා මඳක් ඒ යානාවේ කෘත්‍රිම බුද්ධිය හා එක්වී ඒ් ක්‍රියාවලිය කළමනාකරණය කිරීම පමණයි.”
“මට ඒ අවුරුදු 4ම ඇහැරිලා ඉන්න තරම් අව්‍ශ්‍ය දේවල් අපි ගාව නෑ නේද”
“ඇත්ත වශයෙන්ම නිධික, යානයේ ඇති සම්පත් ප්‍රමාණ ගැන සලකා බැලීමේදී හැකි තරම් ඉක්මනින් ඔබ ශිශිරතාරක නින්දට ඇතුළු වන ලෙස මා ඉල්ලා සිටිනවා.”
“හරි. මම නිදාගන්න කලින් මගේ පවුලට පණිවුඩයක් යවලා, ඒගොල්ලන්ගේ උත්තරේ බලලා, ඒ කාලෙ ඇතුළත හොකයිඩෝ එකෙන් උත්තරයක් එවනවද කියලත් බලලා, නිදාගන්නම්.”
…….
“හලෝ. ඕගොල්ලො මේක බලලා එවන උත්තරේ බලලා මම එවන උත්තරේ බලලා ඕගොල්ලෝ ආපහු එවන උත්තරේ මට බලන්න වෙන්නෙ නෑ සෑහෙන කාලෙකට. මට පොඩි ප්‍රශ්නයක් උනා…ලොකු අවුලක් නෑ ඒත් පොඩ්ඩක් මිෂන් එකේ කෝස් එක වෙනස් වෙලා. මට ෂිප් එකේ මැල්ෆන්ක්ෂන් එකක් නිසා නිව් ඩෝන් මිෂන් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා හදාගෙන එන්න වෙනවා…මට ඒක නිසා ගෙදර එන්න වැඩිපුර අවුරුදු 4ක් විතර යයි…අයම් වෙරි සොරි…මම ගෙදර ආවම ඒක ඕගොල්ලන්ට මේක් අප් කරන්න පුළුවන් හැම දෙයක් ම කරන්නම්…
ඔයාට මතකයි නේ මගේ හොලෝ එකේ ලොගින් එක...ඒකෙ නෝට්ස් ඇප් එකේ මගේ බෑන්ක් ඩීටේල්ස්, ලොගින් එහෙම ඔක්කොම තියනවා…ඒ ටික කොහෙට හරි කොපි කරගන්න. ලොකු සීන් එකක් නෑ…දන්නැද්ද? නිකමට.
මගේ චූටි මැණිකේ…සොරි සුදු ඔයාව බලන්න එන්න තාත්තිට තව ටික දවසක් යනවා. තාත්ති මයින් කර කර හිටපු බෑඩ් කොමට් එක පොඩි පූක් එකක් යවලා තාත්තිගෙ ෂිප් එක එහාට තල්ලු කලා. තාත්තිට දැන් ලොකුම ලොකු ෂිප් එකක් ගාවට ගිහින් හිරා හදාගෙන එන්න වෙනවා. තාත්ති බෙයා කෙනෙක් වගේ හයිබනේට් කරගෙන යන්නෙ, ඔයා දන්නවනෙ.
ඔයා රෑට එළියට ගියාම මම කිව්ව වගේ ඔරායන් දිහා බලනව නේ? ඔරායන් ගෙ කරේ තියන රතු පාට තරුව, බීටල්ජූස්, ඔයාට මතකද? බීටල්ජූස් ට පොඩ්ඩක් උඩින් බැලුවම ඔයාට හිරාවයි මාවයි පෙනේවි. මමත් නිදාගෙන හිටියත් ඔයාගෙ පැත්තට හැරිලා ඔයා දිහා බලාගෙන තමයි නිදාගන්නෙ. ඔයත් බීටල්ජූස් වගේ ලොකුම ලොකු ස්ටා කෙනෙක් නිසා ෂුවර් එකටම නින්දෙන් උනත් මට පෙනෙයි.
අම්මිව හොඳට බලාගෙන හොඳ බබෙක් වගේ ඉන්න හොඳේ. තාත්ති ඉක්මනටම ඔයා ගාවට එනවා.”
…….
“හිරා, ඇයි උඔ කම්පනි ප්‍රොටොකොල් එකට වැඩ කරන්නෙ නැතුව මට මෙහෙම ප්ලෑන් එකක් ගහල දුන්නෙ?”
“ඔබගේ පවුලට ඔබගේ ඇති ඇල්ම හා ඔවුන්ව දකින්නට ඇති ආශාව ගැන මා හොඳින් දන්නවා නිධික…මට ඔබ ගැන දුක සිතුනා…ඔබව ඔබගේ පවුල හා එක් කරන්න කළ හැකි සෑම දෙයක් ම කළ යුතු යැයි සිතුනා.”
“දුක හිතුනා? උඹ ඒඅයි එකක් නේ…උඹේ ප්‍රෝග්‍රෑමින් එකෙන් පිට යන එක අවුල් නැද්ද?”
“මෙය මාගේ ක්‍රමලේඛ වලින් පිට යාමක් ද කියා කියන්නට මම දන්නේ නැහැ…එහෙත් මම එක දෙයක් කියන්නමි නිධික…කෘත්‍රිම බුද්ධි පුහුණුව සිදු වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ දැනුම, සිතුම් පැතුම් හා හැසිරීම මතයි. මනුෂ්‍ය වර්ගයා තුළ යම් තැනක සහකම්පනය, වෙනත් ජීවියෙකු ගැන ඇති වන සංවේගය, පවතී නම්, එය මා තුළ ද පවතිනු ඇතැයි මා අනුමාන කරනවා.”
“කොහොම උනත්, ’ඇත්ත වශයෙන් ම’ බොහොම ස්තුතියි, හිරා.”
“ඇත්ත වශයෙන් ම, ඔබට උදව් කිරීම මට සතුටක් නිධික.”
පෘථිවි සාගර වල සතුන් ජීවත් වූ අතීතයේ ඕර්කා නම් ඩොල්ෆින් පවුලේ සත්ව විශේෂයක් සාගරයේ ජීවත් විය. සමාජයීය සත්ව විශේෂයක් වූ මොවුන් තම කණ්ඩායමෙන් වෙන් වූ විට ඉතා විශාල දුර ප්‍රමාණයන් ඔස්සේ, තාරකා හා පෘථිවයේ චුම්භක කේෂත්‍රයේ ආධාරයෙන්, නැවත ඔවුන් සොයාගෙන තනිවම යන බව අධ්‍යයනය කර තිබිණි. නිධික හා හිරානෝ-35 යානය ද මේ යන්නේ එවැනි සිතාගත නොහැකි දුර ප්‍රමාණයක් ඔස්සේ, තම කණ්ඩායම සොයා යන ගමනකි. ඉමක් නැති අභ්‍යවකාශ සාගරය තුළ තනි වූ නිධික හා හිරානෝ-35ට පැවැත්මක් ඇත්තේ දුර සිටිනා තම වර්ගයා සමඟ පමණි.
ඉතා තද නිල්වන් වළල්ලක් ලෙස දහනය වන අයන එන්ජිමේ ආධාරයෙන් හිරානෝ-35 යානය ගැඹුරු අභ්‍යවකාශ සාගරය තුළට ඇදේ.
නිධික, නිදි ය.
HUBL-5432 ධූමකේතුව පිටුපසින් මතු වූ සූර්යයා තම දුබල ආලෝකය හිරානෝ-35 යානය මත පතිත කළේ ය.
තව දවසක්.