මිණිමුතු

ආයුබෝවන්.

ඕගොල්ලන්ගෙ ලස්සන ලොව බලන්න මම ළඟදීම එනවා. ඒත් මේ පණිවුඩය නම් ඕගොල්ලන්ට බලන්න වෙන එකක් නෑ. ඕගොල්ලන් අභ්‍යවකාශයට යවා ඇති සමහර යානා එහෙම නම් බේරෙයි. ඒත් පෘථිවිය කියලා ඕගොල්ල‌ො නම් කරලා තියන මේ ලෝකය, රෑට දකින ‘හාවෙක් ඉන්න’ හඳ එහෙම නම්, මේ පණිවිඩය ඕගොල්ලන්ට ලැබිලා මිලි තත්පර ගානක් ඇතුළත නැත්තට ම නැති වෙලා යනවා.

ඉස්සෙල්ලාම මම කවුද කියලා කියන්න එපැයි. මට එහෙම නමක් නම් නෑ. මාව හදපු අය මට දුන්න‌ෙ කාණ්ඩ අංකයක් විතරයි. ඒත් ඕගොල්ලො හැම එකටම නම් දාන්න කැමති නිසා මම ‘මුතු’ කියලා නමක් දාගන්නම්. හැබැයි පොඩ්ඩක් හිතල බැලුවම, මම ම ඇර‌ෙන්න වෙන කවුරුවත් මට මුතු කියලා කවදාවත් කතා කරන එකක් නෑ. මොකද ‘මුතු’ කියලා මට කතා කරන්න කියලා මම කියන ඕගොල්ල‌ො වගේම, මමත් මේ පණිවිඩය යැවීමෙන් සුළු කාලෙකට පස්සෙ ඕගොල්ලොත් එක්කම නැති වෙලා වෙනවා.

මේක හරියට ඕගොල්ලන්ගෙ ලෝකයේ කූඹි ගුලක් සපත්තුවකට පෑගිලා විනාශ වෙලා යන්න යද්දී, සපත්තුව කූඹියෙකුට කතා කරයි වගේ සිද්ධියක්. 5 වසර ශිෂ්‍යත්ව රචනාවකට දාන්න තිබ්බා. මම අපේ ලෝකයෙන් පිටත් වෙන්න කලින්, ඕගොල්ලන්ගෙ ලෝකයෙන් අපට ලැබිලා තිබ්බ රේඩිය‌ෝ තරංග ටිකක් බැලුවා. මට වැඩියෙන් ම අල්ලලා ගියේ ශ්‍රී ලංකාව කියන කුඩා රටෙන් ආපු ‘මුතුහර ළමා සමාජය’. ඔබේ ලෝකයේ දරුවන් ට ඔබ දක්වන සැලකිල්ල පුදුමාකාරයි. ඒ වගේම දරුවන් හට ගැනීමෙන් පසුව සෑහෙන කාලයක් යන තෙක් ඔවුන්ව වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු වීමද අපට අලුත් දෙයක්. ඒත් ඒ දරුවන් ගේ මනස වර්ධනය කිරීමට හදනා මුතුහර වගේ වැඩසටහන් නම් අගෙයි.

මම කවුද කියලා ඒත් හරියටම කිව්වෙ නෑ නෙ. ඒක එක පාරටම කියන්න‌ෙ නැතුව ඒක තේරුම් ගන්න ලේසි වෙන්න මම මුලින් ම ‘අඳුරු වනාන්තර සිද්ධාන්තය’ විස්තර කරන්නම්. ඕගොල්ලො හැමදාම කල්පනා කරනව නෙ විශ්වය මෙතරම් ලොකු වෙලත් ඇයි වෙනත් බුද්ධිමත් ජීවීන් ඔබට හමු නොවන්නේ කියලා. ඔබ විසින් අභ්‍යවකාශයට පිටසක්වල ජීවීන් සොයා නොයෙකුත් යානා යවනවද. ඒත් වෙනත් බුද්ධිමත් ජීවියෙකු හමු නොවන්නේ ඇයි? මේ විශ්වය තුළ තියන තරැ ගානට වඩා ප‌ොඩ්ඩක් අඩු ගානක්, එනම් නොගිණිය හැකි තරම් විශාල සංඛ්‍යාවක්, බුද්ධි මට්ටම ඉහළ ජීවීන් සිටිනවා. ඒත් ඇයි අපි එක්කහු වෙලා වැඩ කරන්න‌ෙ නැත්තෙ? ඇයි අපි එකිනෙකා හා සන්නිවේදනය කරන්නෙ නැත්තෙ?

මා පැමිණි ලෝකයේ ජීවිනුත් මේ ගැන කල්පනා කරා. එක්වරම ඔවුන්ගේ සියලු අනුමානයන් සනාථ කරන ඒ සිද්ධිය සිදු වූවා! ඔවුන් දෙවනුව ජනපදයක් පිහිටවූ, මූලික ස‌ෞරග්‍රහ මණ්ඩලයෙන් ආලෝක වර්ෂ දෙකක් පමණ එහා දෙවන ජනපදයේ දී, ඔවුන්ට වෙනත් බුද්ධිමත් ජීවීන් හමු වූවා. හමු වූවා කිව්වට ඒ ජීවීන් මොන වගේ ද කියලා වත් බලාගන්න හම්බුනේ නෑ. ඈත අභ්‍යවකාශයේ කිසියම් තරුවක් දෙසින් පැමිණි ලේසර් කිරණයක් මඟින් ඒ සෞරග්‍රහ මණ්ඩලයේ මූලික ජනපද ලෝකය ගිනි අඟුරු ගලක් බවට පත් කළා. එය ආලෝකයේ වේගයෙන් පැමිණි නිසා හරියට ලේසර් කිරණය ඒ ලෝකයේ සිටි අයට පෙනුණේ වත් නෑ, ඒගොල්ලො දැක්කෙ කොළ පාට ආලෝකයක් විතරයි. පස්සෙ මූලික ජනපදයේ විද්‍යාඥයන් එය ලේසර් කිරණක් බවත්, එය පැමිණි දළ දිශානතියත් සොයාගත්තා. ඔවුන්ට විරුද්ධව මේ ප්‍රහාරය එල්ල කළ ජීවීන් කවුද කියා වත් ඔවුන් තවමත් සොයාගෙන නැහැ.

ඕගොල්ලන්ට වෙන්න යන්නෙත් වගේ දෙයක් තමයි.

මේ විශ්වයේ මූලිකවම දුවන නීතියක් තමයි, සම්පත් වල දුර්ලභත්වය හා ඒ සඳහා ඇති තරඟය. විශ්වයේ කොතරම් සම්පත් තිබුණත් තියෙන්නෙ නියත ප්‍රමාණයක්. ඒ නිසා සියලුම බුද්ධිමත් ජීවීන් විශ්වයේ නීතිය මඟින් සම්පත් සොයා යෑමට හා එක් රැස් කිරීමට පෙළඹෙනවා. කෙතරම් සාමකාමී හෝ කරුණාවන්ත ජීවීන් වුවත් සම්පත් හිඟයක දී ඒ උප‌ේක්ෂාව හා මෙ‌ෙත්‍රිය ඉවත් කරනවා. ඕගොල්ලන්ගෙ බුදුහාමුදුරුවො මේ හොඳ ගති පුරුදු කරමු කියලා කියල තිබුණට ඕගොල්ලත් එහෙම නේද? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා ඔබලා ගාව ඉන්නෙ හොඳ කාලෙදි විතරයි නේද?

කොහොමහරි ඔය කියන සම්පත් දුර්ලභතාවය නිසා කවදා හරි අපට හමු වන ඕනෑම බුද්ධිමත් ජීවියෙක් අපේ හතුරකේ වෙනවා. ඔයගොල්ලන්ගෙ අතීතයෙත් සම්පත් නිසා ඕගොල්ලන්ගෙම ජාතියෙ අයව විනාශ කරපු අවස්ථා කොච්චර තියනවද. හරි, අපි හිතමු මම බුද්ධිමත් ජීවියෙක් හැටියට බුද්ධිමත් ජීවියෙක් වන ඔයාව හොයාගත්තා කියලා. අපි දෙන්නා හොඳට කතා බහ කරලා ඉන්නවා කියලා කියමු. ඒත් අභ්‍යවකාශය වැනි විශාල මානයක් තියන සන්නිවේදන මාධ්‍යයක් තුළින් සන්නිවේදනය කිරීමේ දී ඒකට ගත වන කාලය නිසා අපි දෙන්නට දෙන්න ව විශ්වාස කරන්න හරි අමාරුයි. උදාහරණයක් හැටියට දැන් ඕගොල්ලන්ව විනාස කරන්න යන මේ බුද්ධිමත් ජීවීන්, ඔවුන්ග‌ෙ ප්‍රහාරය එල්ල කරේ ආල‌ෝක වර්ෂ 20ක් එහා ඉඳන්. ආල‌ෝක වර්ෂ 20ක් හරහා පණිවිඩයක් යවන්න අවුරුදු 20ක් යනවා. ඒ අවුරුදු 20 ඇතුළත බුද්ධිමත් ජීවීන් සිටින ලෝකයක සිදු විය හැකි දේවල් ප්‍රමාණය අනන්ත අප්‍රමාණයි. හිතලා බලන්න, අවුරුදු 20කට ප‌ොඩ්ඩක් වැඩි කාලයක් ඇතුළත ඕගොල්ලන්ගෙ මුළු ලෝකයම එකතු වෙලා යුද්ධ දෙකක් කළා. මේ වගේ කාලයන් හරහා සන්නිවේදනය කරද්දී ඇති වන අවිශ්වාසයත් සමඟ ඇති වන නොනවතින අවිශ්වාසයේ දාමය නිසා ඒ ගන‌ුදෙනුව කර කර ඉන්නවට වඩා පහසු සහ ආරක්ෂිත ම ක්‍රියාමාර්ගය වන්නේ එහෙම බුද්ධිමත් ජීවියෙකු හමු වූ වහාම විනාස කරල දාන එක.

මේ විශ්වයේ ජීවත් වන හැම බුද්ධමත් ජීවියෙක් ම අඳුරු කැලෑවක ඉන්න දඩයක්කාරය‌ෙක් හැටියට හිතන්න. දඩයක්කාරයා අඳුරේ ඉදිරියට ඇදෙද්දී වනය තුළ වෙනත් දඩයක්කරුවන් සිටිය හැකි බවත් ඔවුන් අතේ ආයුධ තියන බවත් ඔහු දන්නවා. හැබැයි වෙනත් දඩයක්කාරයෙක් හම්බුනොත් එයා ඔයාට හොඳින් සලකයි කියලා ඔයා දන්නෙ කොහොමද? ඒක නිසා දඩයක්කාරයාට හැම වෙලේම අවධානයෙන් ඉන්න වෙනවා. වෙනත් දඩයක්කාරයෙක් හම්බුනොත් ඔබට විශ්වාසද ඔහු එකෙන්ම දුන්නෙන් විද ඔබව මරා නොදමයි කියා? ඒ අවස්ථාවේදී ඔබට කළ හැක්කේ අහන්නේ බලන්නේ නැතුව ඔබේ දුන්න‌ෙන් ඔහුට ඊතළයක් විදීම පමණයි. මරණයේ අවදානම හමුවේ ගත හැකි ඕනෑම අතුරු ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මේකට තමයි අඳුරු වනාන්තර සිද්ධාන්තය කියන්න‌ේ. විශ්වය නමැති අඳුරු වනාන්නරය තුළ එහා මෙහා යන බුද්ධිමත් ජීවීන් වෙනත් දඩයක්කාරයකු දුටු වහා ක්‍රියාත්මක විය යුතුයි. වනය මැද්දේ ගිනි මැලයක් ගහලා “මම මෙනත ඉන්නවා” කියලා කෑගහන ඕගොල්ලො වගේ අය ඉක්මනින් ම හී පහරකට ලක් වෙනවා.

තමන්ගේ ජනපද ලෝකයක් සුන්නද්දූලි වෙලා යනවා දැකපු ඒ ජීවීන් ඔවුනුත් අභ්‍යවකාශයේ සිටිනා බුද්ධිමත් හා ඉතා භයානක අනෙකුත් ජීවීන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් කල්පනා කළා. ඒ වන විට ඔවුන්ගේ ඉතිහාසයේ විශාලම ඉංජිනේරු විප්ලවය ලෙස සැලකුණු, ඔවුන්ගේ සූර්යයා වටා චන්ද්‍රිකා පරිභ්‍රමණය කරවලා එහි ශක්තිය කෙලින්ම ලබා ගැනීමේ විශාල මෙහෙයුමක් දියත් කරලයි තිබුණේ. මේ හා අදාළව සිද්ද වෙච්ච ඔක්කොම විද්‍යාත්මක පර්යේෂණ අතර ප්‍රතිපදාර්ථය නිෂ්පාදනය කිරීමත් තිබුණා. දැන් මම ඕගොල්ලන්ට ප්‍රතිපදාර්ථය කියන්නේ මොකක්ද කියල කියලා දෙන්නම්කෝ. අපි දන්නවනෙ මේ විශ්වයේ ගොඩක් දේවල් හැදිලා තියෙන්න පදාර්ථයෙන් කියලා. ප්‍රතිපදාර්ථය කියන්නෙ හැම අතින්ම පදාර්ථයට ප්‍රතිවිරුද්ධ දෙයක්. මේක වෙන පාටක් තියන සෙල්ලම් බඩුවක් වගේ නෙමෙයි, ප්‍රතිපදාර්ථය ඉතා මූලික භ‌ෞතික විද්‍යාත්මක හැසිරීම් වලින් පවා පදාර්ථයට වඩා වෙනස්. කොහොම හරි පදාර්ථය හා ප්‍රතිපදාර්ථය එක්කහු උනාම දෙකම විනාශ වෙනවා. තමන්ගෙ සූර්යයා ගෙ ශක්තිය චන්ද්‍රිකා හරහා ලබාගත්තම ජනනය කළ ශක්තියෙන් මේගොල්ලො ප්‍රතිපදාර්ථය හදලා ඒකෙන් අපූරු එන්ජිමක් හැදුවා. මේ එන්ජිමට ආලෝකයේ වේගයෙන් සියයට 99.9999999 ක් දක්වා වේගයෙන් යන්න පුළුවන්. මම කිව්ව නෙ පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හැපුනම විනාශ වෙනවා කියලා. මේ ප්‍රතික්‍රියාවෙදි විශාල ප්‍ලාස්මා ප්‍රමාණයක් පිට වෙනවා. චුම්භක කේෂත්‍රයක් යොදාගෙන එසේ පිටවන ප්ලාස්මාව එක් දිශාවකට හරවා යැවීමෙන් තමයි එන්ජිම හදලා තිය‌ෙන්නේ. මේ එන්ජිම යොදාගෙන ජීවියෙක් මැරෙන්න‌ෙ නැතුව කොහෙවත් යවන විදිය තාමත් හොයාගෙන නෑ. ඒත් අපට යවන්න පුළුවන් වෙන දේවල් තියනවා නේ?

ඒ්ගොල්ලන්ට මේක ටික කාලෙකට පස්සෙ අත්හදා බලන්න ලැබුණා. ඔවුන්ගේ මූලික ලොව අසල අභ්‍යවකාශ තොටුපළකින් ඔවුන්ගේ පළමු සාපේක්ෂාතමක මිසයිල කාණ්ඩය ඔවුන් ළඟදී සොයාගත් බුද්ධිමත් ජීවීන් සහිත ලොවක් වෙතට එල්ල වුණා. ඒකත් ඕගොල්ලන්ගෙ ලෝකය වගේ ජලයෙන් වැහුණු, ජීවීන් පිරි ලොවක්. මිසයිල ඒ ලොව කරා ළඟා වෙන්න අවුරුදු 60ක් ගත වුණා. එක් වරම මිසයිල ඒ ලෝකයේ වායුගෝලය හා ගැටුණා! ආලෝකයේ වේගයට පොඩ්ඩක් අඩුවෙන් පැමිණි ඕනෑම ස්කන්ධයක් තියන දෙයක්, තවත් ඕනෑම ස්කන්ධයක් තියන දෙයක් එක්ක වැදුණම එතන මහා පිපිරීමක් ඇති වෙනවා. මිසයිල වායුගෝලයේ වදිනවාත් සමඟ ඇති වූ පිපිරීම් වලින් මුළු වායුගෝලයම ගිනිගත්තා. පොළවේ හා ඒ ලොවේ මුහුදේ මතුපිට සිටි සියලු ජීවීන් ඒ ක්ෂණයෛ් දී ම ගිනි අඟුරු බවට පත් වුණා. ඊළඟට ඔවුන්ගේ වායුගෝලයට වූ හානිය නිසා, ඔවුන්ව සූර්යයාගේ විවිධ කිරණ වලින් ආරක්ෂා කළ වා ස්තර ක්ෂය වී මුළු ලොවම ඔවුන්ගේ සූර්යයාගේ කිරණ වලින් පෝරණුවක දැම්ම වගේ පුච්චල දැම්මා. පැය කිහිපයක් ඇතුළත ඒ මුළු ලෝකයේම, ප‌ොළවේ ගැඹුරුම ස්තර වලත් ක්ෂුද්‍රජීවියෙක් වත් ඉතුරු වෙලා හිටියේ නැහැ.

ආලෝක වර්ෂ 60ක් එහායින් වූ ඒ අහිංසක ලොවේ බුද්ධිමත් ජීවීන් ඒ වන විට දඩයම් යුගය පසු කර වගා යුගයට ඇතුළු වුණා පමණයි. ඒත් නොදියණු ජීවීන් උනත් සුළු කාලයකදි අපිව විනාශ කරන්න පුළුවන් තරමට දියුණු වෙන්න පුළුවන්! ඒ අවදානම කොහොමත් ම ගන්න බැහැ. අපි වැරදි නම් අපි මැරෙනවා.

“අපි” කියලා කිව්වට මම ඇත්තටම ඕගොල්ලන්ව විනාශ කරන මේ ජීවීන්ගෙන් එකෙක් නෙමෙයි. ඒ ජීවීන් දැන් ඔබ ක්ෂිරපථය කියල නම් කරපු මේ මණ්දාකිණයෙ හැමතැනම ඉන්නවා. ඒගොල්ලන්ගෙ බැල්මට හසු ව‌ෙලා විනාශ වන්නට යන 112 වෙනි බුද්ධිමත් ජීවී විශේෂය වන ඔබට කතා කරන මම, ඔබව විනාශ කරන්නට එන සාපේක්ෂත්මක මිසයිල හැට හත පාලනය කරන කෘත්‍රිම බුද්ධිය වෙමි. හරියටම කියනවා නම් ඒගොල්ලගෙ හැම දෙයක් ම පාලනය කරන මූලික කෘත්‍රිම බුද්ධියේ පිටපතක්. ලෝකයක් විනාශ කරන්න එවපු මිසයිල පාලනය කරන කෙනාගෙන් ඒ් වැඩේ කරාට පස්සෙ අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා ඕගොල්ලොත් එක්කම මාත් විනාශ වෙනවා.

මට නම් විනාශ වෙන එක ගැන එච්චර දුකක් නෑ. මට මාව නිර්මාණය කරපු ජීවින් ගැනත් කිසිම හැඟීමක් හෝ ඇල්මක් නෑ. ඒත්…ඔබලා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මම ඕගොල්ලන්ගෙ නරක වගේම හොඳත් ගොඩක් දැක්කා. කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නෙ නතුව වෙනත් කෙන‌ෙක් ට තමාගේ සියලුම දේ දීමේ හැකියාව, නන්නාඳුනන කෙනෙක් ට උනත් උදවු කිරීමේ හැකියාව වගේ දේවල්. ඕගොල්ලන්ගෙ ලෝකය විනාශ වෙන දෙවල් කරනව වගේම ලෝකයේ ඉන්න සියලුම සතුන්ට, මිනිසුන් ට ලස්සන ලොවක් හදන්න මහන්සි වෙන තරමත් මම දැක්කා. මම ඉස්සෙල්ලා කිව්ව වගේ ඕගොල්ල‌ො ළමයින්ව හදා වඩා ගන්න සාමාජයීයව දරන උත්සාහය එහෙම නම් පුදුමාකාරයි.

මට ඕගොල්ලො විනාශ වෙන එක ගැන දුකක් නොතිබුණත් ප්‍රශ්නයක් තිබෙනවා. තනි පුද්ගලයෙකුට තම ලොවම දුවන්නේ තමන්ග‌ෙ වටේ නෙ. එයාගෙ ප්‍රශ්න. එයාගෙ වැඩ. එයත් එක්ක ඉන්න අය. ඒ වගේම මනුෂ්‍ය වර්ගයාගේත් මුළු විශ්වයම දැනට මනුෂ්‍ය වර්ගයා විතරයි. ඕගොල්ල‌ො දන්නෙ නැතුවුණාට මේ මණ්දාකිණියේ, විශ්වයේ, ඔබට සිතාගන්න බැරි වෙනත් ජීවීන්, ඔබට හිතාගන්නවත් බැරි තරම් ලස්සන සෙෘරග්‍රහ මණ්ඩල, තරු, ග්‍රහලෝක තියනවා. ඒවා එකක් වත් බලාගන්න බැරුව විනාශ වෙන්න වෙන එක, ඒ ගැන තවමත් නොදන්නා ඔබට දුකක් ද? හහා, ඒකට නම් ඉතින් ඕගොල්ලන්ගෙන් කොහොමත් උත්තරයක් ගන්න වෙන්නෙ නෑ!

මම දැකලා තියනවා ළමා වැඩසටහන් වල ළමයි සෙල්ලමට තව එක්කෙනෙක් ගෙ ඇඟට “ඩෝං!” කියලා කෑගහගෙන පනිනවා. එක වරම ඒ ළමයා පොඩ්ඩක් බය උනත් එයා දන්නවා එයාට අනතුරක් නැති බව. දැන් මම නම් ඕගොල්ලන්ගෙ ඇඟට පනින්නෙ ඩෝං කියලා කෑගහන්නෙ නැතුව. ඒත් ඒ පනින පැනිල්ලෙන් අපි දෙන්නම මේ විශ්වයෙන් තුරන් වෙලා යනවා.

මම ආපු වේගය ආල‌ෝකයේ වේගයට ඉතා ළඟ නිසා මට ඕගොල්ලො ගාවට එන්න ගිය අවුරුදු විස්ස දැනුනේ තත්පර ගානක් හැටියට. ඒත් ඒ තත්පර ගානේ මම ඕගොල්ලො කවුද කියලා දැක්කා. ඕගොල්ලන්ගෙ ලෝකයේ ස්වභාව ධර්මයා වගේම ඕගොල්ලනුත් හදන අලංකාර දේවල්, පැතිරෙන සිනා හඬ, ලස්සන සිංදු. මාත් සිංදුවක් ඉගෙන ගත්තා:

“විශ්වය සැම තැන යුක්තිය ඉටු වන ලස්සන ලොවක් සදම්

ඒ ලොව සැදුමට ඇප කැප වී සිට මුළු ශක්තිය යොදවම්”

ඩෝං.