ඔව් මහත්වරුනි, මම අද ඔබට කියනවා ඔබේ අනාගතය.
මේ අපි ඉන්න කුඩා පෘථිවිය තියෙන්නේ ක්ෂිරපථයේ අයිනක තියන සාමාන්‍යය මට්ටමේ තරුවක් වටා තියන සාමාන්‍ය සෞරග්‍රහ මණ්ඩලයක. ඒත් මේ සෞරග්‍රහ මණ්ඩලයේ, මේ මණ්දාකිනයේ, මේ විශ්වයේ ඉස්සරහට වෙන්න යන දේ බොහෝ අපූරුයි.
මීට අවුරුදු දහස් ගණනක සිට සියක් දහස් ගණනක් අපි ඉස්සරහට ගිහින් බලමු. ඔබ අඟහරු, බ්‍රහස්පති ගේ හා සෙනසුරුගේ සඳවල් හා අප සෞරග්‍රහ මණ්ඩලයේ නොයෙකුත් ස්ථාන තරණය කර හමාරයි. ඔබ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට අන්තර්-තාරකා ස්වයංක්‍රීය යානා යවා හමාරයි. පෘථිවිය මත තවමත් පවතිනා විවිධ රටවල් වලින් සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ ස්ථාන තමාගේ යටතට ගන්න උත්සාහ කළත් දැන් එම ස්ථාන වල සිටිනා ඔබගේ අය කෙසේ හෝ තමාගේම ආණ්ඩු පිහිටවාගන්නට උත්සාහ කරනවා. චන්ද්‍රවාසීන් හා පෘථිවිවාසීන් අතර ඇති වූ සුළු මතභේදයක් දුර ගිහින් පෘථිවියෙන් පිට ඇති වූ පළමු යුද්ධයත් අවසන් වෙලා දැනටත් ටිකක් කල්. සඳේ ෂැකල්ටන් නගරයේ දී බිහිවන බොහෝ දරුවන් අතර පෘථිවියෙන් ඉවත උපදින පළමු ශ්‍රී ලාංකික දෙමාපියන් සිටිනා දරුවා ද බිහි වනවා. ඒත් ඒ දරුවා අයිති ශ්‍රී ලංකාවට නෙමෙයි, අහසට.
ඔන්න දැන් අපි යන්නේ අවුරුදු මිලියනයක සිට මිලියන 100ක් අතර අනාගත කාලයට. ඔබ ක්ෂිරපථයේ සෑම තැනකම ප්‍රචාරණය වෙලා. ක්ෂිරපථයේ නොයෙක් කොන් වල ඉන්න ඔබේ අය මිනිසුන් යැයි කියාගත්තත්, විවිධ ලෝක වල, විවිධ තත්ව යටතේ ජීවත් වෙන්න පුළුවන් විදියට ඔවුන් තමාටම කරගත් වෙනස්කම් නිසා ඔවුන්ට එකිනෙකා මිනිසුන් කියලා අඳුරගන්න වත් බැරි තරම්. තමන්ව කෘතිමව වෙනස් කරගත් මිනිසුන් සත්‍ය මනුෂ්‍යයන්ද යන වාදය මේ අවස්ථාවේදී දරුණු වෙනවා. මනුෂ්‍ය වර්ගයා මනුෂ්‍යයත්වෙන් දුරස් වන බව ඔබට දැනුණත්, තවමත් ඔබේ දරුවන් පාට පෙට්ටයක් අරගෙන අඳින්නෙ ගල් යුගයේ දරුවෙක් ඇඳපු බලිකුරුටුම තමයි. ඒ නිසා සමහරවිට මිනිස්සු එතරම් වෙනස් වෙලා නැති බවත් ඔබට දැනෙනවා.
අවුරුදු බිලියනයක් ව්තර ගත වෙද්දී ඔබේ සූර්යයාගේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීමත් සමඟ පෘථිවිය ස්වභාවිකව ජීවය පවත්වාගත නොහැකි කාන්තාර ලෝකයක් බවට පත් වෙලා. ඔබේ ලොව මත ජල චක්‍රය වේගවත් වීමෙන් හා හයිඩ්‍රජන් හා ඔක්සිජන් සූර්ය කිරණ වල බලය මඟින් වෙන් වීමෙන් පෘථිවි ජලය හෙමින් හෙමින් අභ්‍යවකාශගත වෙලා. මණ්දාකිණිය පුරා පැතිර සිටින ඔබගේ අයට, පෘථිවිය ඉතිහාස කතාවක් විතරයි, හරියට පරණ වෙද්දි දාලා ගිය ගෙදරක් වගේ. සමහර අය නම් පෘථිවිය තිබ්බ අයුරින්ම පවත්වාගැනීමට ඔබට හැකියාව තිබියදිත් එය නොකිරීම ගැන තවමත් දුක්වනවා. ඒත් ඔබගේ උනන්දුව හැමවිටම ඔබගේ ව්‍යාප්තියයි, ඔබේ අයගේ දියුණුවයි. දියුණු වෙලා ඉදිරියට යද්දී ඔබ කිසිම දිනක පිටිපස්ස හැරිලා බැලුවේ නෑ. ඒ වගේම පෘථිවියත් මේ වන විට ඔබේ අතීතයේ එක් මංතොටුපළක් පමණයි. ඔබගේ සමහර අය දැන් සම්පූර්ණයෙන්ම ජීවී පදාර්ථයෙන් වෙන් වෙලා, ඔවුන් ජීවත් වන්නේ ඔබ හදපු අජීවී ද්‍රව්‍ය ඇතුලෙ විතරයි. වෙනත් අය නම් තවමත් තම මිනිස් ශරීර වලට බොහෝ විදි වලින් වෙනස්, එහෙත් සමහර විදි වලින් සමාන සජීවී රාමු තුළ ජීවත් වෙනවා.
ඔබේ විශ්ව ගමනේ ඊළඟ සන්ධිස්ථානය, සූර්යයාගේ “මරණය”. අවුරුදු බිලයන 5ක් ගත වෙද්දී සූර්යයා මත තිබෙන හයිඩ්‍රජන් වායුව අහවර වෙලා හිරු මත ඇති හීලියම් න්‍යෂ්ටික විලයනයට භාජනය වෙන්න පටන් ගන්නවා. හීලියම් විලයනයේ ආරම්භයත් එක්කම අභ්‍යන්තරය මඟින් පිටත තට්ටු පිටතට තල්ලු වෙලා, ඉර විශාල වී රතු යෝධයෙක් බවට පත් වනවා. පෘථිවියට අවුරුදු බිලියන ගණනක් තිස්සේ ආලෝකය, උණුසුම, ජීවය දුන් හිරු යෝධ මාරකයෙක් වගේ ඇවිල්ලා ඔබේ අතීත නිවහන ගිලගන්නවා. මණ්දාකිණිය පුරා, හා ඊටත් එහා පැතිරිලා ඉන්න ඔබේ අයට මේක ප්‍රවෘත්ති විකාශයක එක වාක්‍යයක් විතරයි. ඒත් ඔබගේ සමහර අය නම් ඔබේ වර්ගයාගේ මාතෘ ලෝකය මතක් කරලා විනාඩියක් නිහඬව සිටිනවා. පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලය, විශ්ව ගමනේ යෙදී සිටිනා ඔබේ කෞතුකාගාර බිත්ති වල එල්ලා තිබෙන පින්තූරයක් විතරයි. ඔබේ දරැවන් ඒ මොක්කදැයි ඔබෙන් අසනවා. ඒ සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවූ මිනිසත්බවේ සම්භවය ඔවුන්ට විස්තර කිරීමට උත්සාහ කළත් එයට සාධාරණයක් ඉටු කරන්නට බැරි වූවා යැයි ඔබට සිතෙනවා.
දැන් ඔබ ඉන්නේ මේ ඉඳන් අවුරුදු බිලියන 20ත් 50ත් අතර ගත වූ අනාගත කාලය තුළ. විශ්වයේ නොනැවතී සිදු වන විහිදීම නිසා ඔබගේ “විශ්ව ගම්මානයේ” මන්දාකිණි හැරුනාම අනික් සියලුම මන්දාකිණි ඔබට හසු වන දෘශ්‍ය පථයෙන් ඉවතට ගමන් කරනවා. ආලෝකයේ වේගයේ භෞතික නියමයන්ගෙන් සීමා වී සිටින ඔබට, දැන් ඔබ සිටිනා මන්දාකිණි පොකුරෙන් ඉවතට යා නොහැකියි. ක්ෂිර පථය, ඇන්ඩ්‍රොමීඩා, විශාල මැගලනික් වළාකුල සහ තවත් කුඩා තරු කණ්ඩායම් කිහිපයක් හැරුනු විට ඔබට යා හැක්කේ විශ්වයේ නොනවත්නා අඳුර තුළට පමණයි. එහෙත් මේ සාපේක්ෂව කුඩා ගම්මානය වුවත් ඔබට සිතාගත නොහැකි තරම් ලොකුයි, ඉන්න ඕන තරම් ඉඩ ඔබට තිබෙනවා. අවුරුදු බිලියන ගණනකට පෙර සිට මේ සිදුවීම ගැන දැන සිටි ඔබට එය ඒතරම් භයානක සිදුවීමක් නොවේ. ඔබේ අය ප්‍රචාරණය කරන්න, ඔවුන්ගේ අනාගත දරුවන්ට ජීවත් වන්න මේ විශ්ව ගම්මානයේ ඕන තරම් ඉඩ තිබෙනවා. ඕ
අවුරුදු බිලියන සියයක් ගතවුනාට පස්සේ ඔබේ විශ්වය අඳුරු හා නිෂ්ශබ්ද ස්ථානයක් වෙලා. දන්නා තරම් ඉතිහාසයේ සිට විශ්වයේ සිදුවෙමින් පැවති අලුත් තරු නිර්මාණය සම්පූර්ණයෙන්ම නැවතිලා ගිහින්. අලුතින් තාරකා හැදුනේ නැති වුණාට තාරකා විනාශ වීම නවතින්නේ නැහැ. ඒ නිසා තාරකා මත යැපුම රඳාපවතින ඔබට ඉතිරි වෙලා තිබෙන තාරකා වලින් ශක්තිය උකහා ගන්න වෙනවා. ඔබේ අය දැන් ඉතා දක්ෂ තාරකා ඉංජිනේරුවන් බවට පත් වෙලා. ඔව්! තරු නිර්මාණය කරන්න ඔබට හැකියාව නැති වුණත් තරු වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඔබ දැන් දක්ෂයි. විශ්වයේ අවසානයද කවදා හෝ පැමිණෙන බව ඔබ දන්නවා. ඔබ මේ වන විට සම්පූර්ණයෙන්ම පදාර්ථයෙන් වෙන් වූ ජීවීන් වුවත්, පදාර්ථය, ශක්තිය යන දේවල් වල අවශ්‍යතාවෙන් ඔබට ගැලවීමට හැකියාවක් නැහැ. ඒත් මස් සිරුරු, ජාන, ළදරු උපත් වගේ දේවල් වලින් ඔබ සම්පූර්ණයෙන් ම වෙන් වෙලා. ඒ කොහොම වුනත්, ඔබේ “දරුවන්” තරු දෙස බලා කියන කතා, කරන සෙල්ලම් වල ඈත අතීතයේ ඔබ තුළ පැවති ඒ විශ්මය, ඈත දුර ගමන් යන්නට ඇති ආසාව තවමත් තියනවා.
ඈත අතීතයේ, ඔබේ ලෝකයේ අඳුරු වනාන්තර වල කණඩායම් ලෙස ගැවසුණු ඔබගේ අය ගිනමැල ගහගෙන අඳුර පළවාහරින්නට උත්සාහ කෙරුවා. ඔබේ ජීවිතය රඳා පැවතුනේ ඒ ගිනමැළය මතයි. ඉන් අවුරුදු ට්‍රිලියනයක් ගිය තැන දෛවයේ කෲර සරදමකට අහු වෙලා වගේ, විශ්වයේ ඉතිරි වී තිබෙන එකම තරු විශේෂය වන රතු වාමන තරු වටා රොක් වී ඔබේ වර්ගයා ජීවත් කරවීමට ඔබට සිදු වී තිබෙනවා. විශ්වයේ තිබූ නානාප්‍රකාර නොගිණිය හැකි තරම් තරු ගණනින් දැන් ඔබට ඉතිරි වී ඇත්තේ සෙමින් දැවෙන මේ රතු වාමන තරු විතරයි. ක්‍රමයෙන් අඳුරු වන මේ විශ්වය තුළ ජීවත් වන ඔබ තවමත් එකිනෙකාට බොරු කතා කියාගන්නවා, තවමත් සංගීතය මවනවා, තවමත් ඔබ මෙහි සිටිනා බව කෑ ගසා විශ්වයට කියනවා. ඔබේ තාක්ෂණික දියුණුව ඔබට සිතාගත නොහැකි තරම්, විශ්වයේ භෞතික නීති වලට පටහැනි වන තරම් දියුණු වෙලා. අවුරුදු ට්‍රිලියනයක් පහු වී තිබියදී මනුෂ්‍යත්වයේ ගංගාව තවමත් පැවතුනත්, එය ගලන්නේ සෙමින්. ඒත් ඒ ගඟ තාමත් ගලනවා.
අවුරුදු ට්‍රිලියන සියයක් ගත වෙද්දී විශ්වයේ ඇති අවසාන තරු ද විනාශ වී අඳුරු වාමනයන් බවට පත් වනවා. ඔබගේ බලශක්තිය ඔබ ලබාගන්නේ මිය ගිය තාරකා වලින්. ඒත් ඔබ පදාර්ථයෙන්, ඔබගේ ශරීර කූඩු වලින් වෙන් වී යාමත් සමඟ, ඔබට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩු වනවා. එක් සිතුවිල්ලක් සම්පූර්ණ කරන්නත් ඔබට අවුරුදු දහස් ගණනක් ගත කරනවා. ඔබට කොහෙවත් යන්න හදිස්සියක් නෑ. දැන් ඇත්තේ පැවැත්ම පමණයි.
හෞතික පදාර්ථය සම්පූර්ණයෙන් ම හැර දමා ඔබ අවුරුදු ට්‍රිලියන, ක්වොඩ්රිලියන ගණන් පහු කරද්දී පරමාණු වල ප‌්‍රෝටෝන කාදන අවදිය ආරම්භ වනවා. ඔබ දැන් පත්වී සිටිනා තත්වය, ඔබ මොන වගේ අයද කියලා ඔබට කියන්න මට ඇත්තටම වචන නැහැ. තවත් කාලයක් ගත වෙද්දී විශ්වයේ ඇති එකම ශක්ති නිපදවන ඒකකය කලු කුහර පමණයි. ඔබේ කාලයේ අඳුරුම යුගයක් දැන් ආරම්භ වනවා. අනාගතයේ එන විශ්වයේ සම්පූර්ණ නැවතීම, අනාදිමත් අඳුර ගැන දන්නා නිසා ඒ ගැන කළ හැකි දෙයක් ඔබ සොයා බලනවා. ඔබේ සමහර අය නම් විශ්වයේ අවසානයටත් පසුව පැවැත්මක් සෙවීම මෝඩකමක් යැයි සිතනවා. කිසිම දෙයක් නැති විශ්වයක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ පලය මොකක්ද?
කලු කුහර, හෝකින්ග් විකිරණශීලතාවය මඟින්, ඉතා සෙමෙන්, අවුරුදු මිලයන ගණනක් තිස්සේ විඛාදනය වනවා. මුළු විශ්වයේම ඉතිරි වී ඇති, ඔබට භාවිතා කළ හැකි එකම ශක්තිය ලැබෙන්නේ මේ විකිරණ මඟින් පමණයි. එහෙත් එයත් භාවිතා කළ හැකි තරමට ඔබ දක්ෂයි. ඝන අඳුර මැද කුඩා ඉටිපන්දම් මෙන්, කලු කුහර වටා ඔබේ ජීවිතය තවමත් ඉදිරියට යනවා. විශ්වයේ අවසාන මරණය සිදු වීමට නියමිත වන්නේ
අවසාන කලු කුහරය විනාශ වී යාමෙන්. ඊට පෙර ඔබ ශක්තිය හා පදාර්ථය මැවීමේ හැකියාව සොයාගන්නවා. මේ දැනුම භාවිතා කර ඔබට අලුත්ම අලුත් විශ්වයක් මවන්න පුළුවන්! විශ්වයක් මැවීමේ හැකියාව ලැබුණු ඔබ දැන් දෙවියෙක් ද? ඔබ මෙතරම් කල් සිටි විශ්වයත් මෙසේ මවන ලද්දක් ද? මේ ප්‍රශ්න සිතේ කොනක තිබුණත් ඔබ කළේ ඔබ හැමදාම කරපු දේ ම තමයි; ඔබේ දැනුම පාවිච්චි කරලා ඔබ ගැටලුවක් විසඳුවා. ඔබ වෙනුවෙන් තනාගත් නිවසක වසන අනෙක් ජීවීන් ට ඔබ දෙවියෙක් ද? ඔබ දැන් මනුසත්බවෙන් කොතරම් ඈත් වෙලා හිටියත්, ඔබට අනුව නම් ඔබ “දේවත්වය” ලබා නැහැ.
අලුත් විශ්වයක් හදලා, එහි ජීවත්වීමට යන ඔබගේ අනාගතය මොන වගේ වෙයිද? ඔබ මුල සිට පටන් ගන්නවාද? නව විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක් ලෙස ඔබ සිටිනවා ද? ඔබේ කතාව නම් මෙයින් අවසාන වන්නේ නෑ. මහත්වරුනි! මෙය ඔබට තවත් එක් ආරම්භයක් පමණයි.
---
“මොකද්ද බං ඌ කියවපු ඒ විකාරෙ? සාත්තර කියනව කියල ඌ කරේ විද්‍යා පංතියක් නෙ.”
“අපරාදෙ ඕයි අපට මේ වෙලාවෙ හොටෙල් එකේ සෙට් වෙලා අඩියක් ගහන්න තිබ්බ. කොහෙද ඉතිං ට්‍රිප් එක්ක ආවම මොනව හරි මඟුලක් කරන්න මුන්ට එළියට යන්න ඕන වෙනවනෙ.”
“මචං, උඹේ කොල්ල නම් ඒක අහල බිරාන්ත වෙලා වගේ…පොඩ්ඩක් බලපං”
“පුතා, ඇයි ඔයා බය වෙලා වගේ?”
“තාත්ති, එයා කිව්වනෙ ඉරයි අපේ ලෝකෙයි ඔක්කොම විනාශ වෙනවා කියලා…ඒක ඇත්ත ද?”
“මම දන්න විදියට නම් ඇත්ත තමයි. දැනට අපි දන්න දේවල් අනුව නම් විශ්වය නැති වෙලා යන එකත් ඇත්ත. ඒත් මිනිස්සු නම් ඒ වෙනකොට මොනව කරල තියෙයිද කියල හිතාගන්නවත් බෑ. අපි පහුගිය අවුරුදු 100 ඇතුළත හොයාගත්ත, හදපු දේවල් වල හැටියට අවුරුදු බිලියන, ට්‍රිලියන ගනන් යද්දී මොනව කරල තියෙයිද කියල අපි කියන්නෙ කොහොමද?”
“ඒත් තාත්ති…අපේ ලෝකය නැති වෙලා යන එක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? මට නම් හරි දුකයි.”
“බබා, අපි ඉන්නෙ ටික කාලයයි. අවුරුදු බිලියන ගානකින් වෙන දෙයක් ගැන දැන් අපි බය වෙලා වැඩක් නෑ නේ? අපට කරන්න පුළුවන් එකම දේ මේ ඉන්න කාලයේ හොඳට ඉන්න එක විතරයි. අපිට ළඟ අයව තවත් ළං කරගෙන, හැමෝටම හොඳක් වෙන විදියට ඉන්න පුළුවන් නම් ඒක නේද වටින්නෙ? සමහරවිට ඔයා කරන දේකින්, ඔයා හොයාගන්න දෙයකින්, අවුරුදු බිලියන 5කින් අපේ සෝලා සිස්ටම් එකේ අවසානයේදී ඉන්න අයට උදව්වක් වෙන්න පුළුවන්. අපි අද කරන චූටි දෙයකින් උනත් අනාගතය වෙනස් වෙන්න පුළුවන්. අපි හැමදාම කල්පනා කරන්න ඕන අපි මේ ඉන්න ටික කාලයේ අපි සතුටින් හිටියද, අපි ආදරේ කරන අය සතුටින් හිටියද, අපි කාටවත්ව කරදරයක් නොකර ඉන්න උත්සාහ කළා ද, අපට තිබ්බ දේවල් වලින් අපට සෑහීමට පත්වෙන්න පුළුවන් උනාද කියන එක විතරයි.”
“...හරි තාත්ති. ඒත් එයා ඒලියන් ලා ගැන මුකුත් කිව්වේ නෑ නේ? තාත්ති හිතනවද අපේ යුනිවර්ස් එකේ කොහෙවත් වෙන අය නැතුව ඇති කියලා?”
“මෙච්චර ලොකු විශ්වයක අපි වගේ වෙන ජීවීන් නැතුව ඇති කියල නම් මට හිතන්න අමාරැයි. සමහරවිට එයාට අද ඒ ගැන කියන්න වෙලාව තියෙන්න මදි වෙන්න ඇති.”