ෂැකල්ටන්

Shackleton Schematic

ෂැකල්ටන් කඳවුරට අද පෘථිවිය හොඳට පෙනුනත් ලංකාව වළාකුළු වලින් වැසී තිබුණු නිසා සනුදිට තම මව්බිම හරියට බලාගත නොහැකි විය. අම්මා දැක්කේ නැති උනත් බොරුවට ලංකාව දෙසට අත වනා වැඩ පටන් ගැනීමේ පුරුද්දක් සනුදිට තිබුණි. අද වැනි වැදගත් දවසක් ඒ පිළිව‌ෙත නැතිව ආරම්භ කිරීමට සිදු වීම හොඳ සලකුණක් නොවේ.

වැදගත් විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙන මධ්‍යස්ථානයක් වුවත් ෂැකල්ටන් කඳවුර එතරම් විශාල නොවීය. සෞරග්‍රහ මණ්ඩලයේ තිබූ නොයෙක් අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල විවිධ විද්‍යාත්මක පර්යේෂණ සිදු වුවත් සඳ මත ඇති පෘථිවියෙන් 1/6ක ගුරුත්වය සහ පෘථිවියට සමීපව පිහිටා තිබීම යන කරුණු නිසා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ වූ ෂැකල්ටන් කඳවුරේ වාසය කරන විද්‍යාඥයෝ, විද්‍යාවේ ප්‍රගමනයට වැදගත් වටිනා පර්යේෂණ රාශියක නියැලුණහ.

මෙවැනි පර්යේෂිකාවක වූ සනුදි අද ආරම්භ කරන්නට යන්නේ වෛද්‍ය විද්‍යාවේ සූක්ෂම නව යුගයකි. එනම්, නැනෝ යන්ත්‍ර යොදාගෙන සිදු කරනු ලබන පළමු ශල්‍යකර්මය සිදු කරන පළමු වෛද්‍යවරිය සනුදි ය. නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමඟම, ඉංජිනේරුවන් විසින් වඩා සංකීර්ණ නැනෝ යන්ත්‍ර නිර්මාණය කිරීමේදී රසායනික මට්ටමේ නැනෝ රොබෝවරුන් නිෂ්පාදනය කරන ලදී. අතීතයේදී නම් බොහෝ ප්‍රාථමික අයුරින් නිෂ්පාදනය කෙරුණු රසායනික නැනෝ යන්ත්‍ර වලින් සිදු වූයේ රසායන ද්‍රව්‍ය සිරුර තුළ අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කිරීම පමණි. අද දින සිදුකිරීමට නියමිත ශල්‍ය රසායනික යන්ත්‍ර මගින් නම්, රසායනික ඉලක්කකරණය මඟින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇත.

කුඩා කල සිටම විද්‍යාවට ඇල්මක් දැක්වූ සනුදි වෛද්‍ය විද්‍යාවේ පශ්චාත් උපාධි කිහිපයකම හිමිකාරිණියයි. මීට වසර 3කට පමණ පෙර ෂැකල්ටන් කඳවුරට පුහුණු පර්යේෂකාවක ලෙස පැමිණි ඇය දැන් එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවකි. තමාගේ ෂැකල්ටන් වෘත්තිමය මාර්ගයේ පළමු මාර්ගෝපදේශනය දුන් පර්යේෂක විද්‍යාඥයෝ, ඔවුන් ඇති කළ විද්‍යාත්මක විප්ලවයන් වල පල ඔවුන්ගේ ජීවිත කාලය තුළදීම නෙලා ගැනීමට තරම් වාසනාවන්ත වූහ. සනුදිගේ සිත තුළද එසේම නොබෝ දිනකින් අද සිදු කරන නව මාදිලියේ ශල්‍යකර්මයේ පල නෙලාගැනීමේ බලාපොරොත්තුවක් තිබේ. කෙසේ වෙතත් සඳේ අඩු ගුරුත්වය නිසා ම මෙහි වැඩි කාලයක් රැඳී සිටියහොත් සිදු වන මාංශ පේෂි වල අවබල වේ. මෙය බොහෝ දුරට වලක්වාගත හැකි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද තිබුණ ද අවුරුදු 3කට පසුව ඔ්නෑම චන්ද්‍රවැසියෙක් නැවත පෘථිවියට යා යුතු ය.

“සුභ උදෑසනක් සනුදි…මම හැම දෙයක්ම සූදානම් කරලයි තියෙන්නෙ. ඔබගේ කෝපි කෝප්පය ඔබ කැමති ආකාරයෙන් පිළියෙල කර තිබෙනවා. අද අපේ වැඩේ ට ඔබ ලෑස්ති ද?” “ගුඩ් මෝනිං සාරා. බොහොම ස්තුතියි කෝපි එක හැදුවට. මම ලෑස්තියි. අ‌පේ පේෂන්ට් ලෑස්ති ද?”

සිස්ටමැටික් ඇනටොමිකල් රිකන්ස්ට්‍රක්ෂන් ඒජන්ට්, හෙවත් “සාරා”, නව නැනෝ රොබෝවරුන් යොදාගෙන කරනු ලබන ශල්‍යකර්ම වල අත්‍යාවශ්‍යවම කොටසකි. ඇය නූතන කෘත්‍රිම බුද්ධියකින් මෙහෙයවනු ලැබූ විවිධ උපාංග රාශියක එකතුවකි. ඇයට කෝපි සෑදීම වැනි කාර්යයන් ද ඉටු කළ හැක්කේ කඳවුරේ ජීව-වෛද්‍ය විද්‍යා ඒකකයේ බොහෝ ස්වයංක්‍රීය උපාංග වල බලය ද ඇයට පවරා තිබූ හෙයිනි. සාරා නැනෝ රොබෝවරුන් පාලනය කරන්නේ උපධ්වනි ශබ්ද තරංග, එනම් මනුෂ්‍ය කනට නොඇසෙනා තරම් අඩු සංඛ්‍යාතයක ශබ්ද තරංග, යොදාගෙන ය. නැන‌ෝ යන්ත්‍ර වල බාහිර බාහකයේ ඇති චාලක අණු, විවිධ සංඛ්‍යාත වල උපධ්වනි තරංග වලට සංවේදීව ඒ්වා හා ගැටෙන ශබ්ද තරංග වල සංඛ්‍යාතයන්ට අනුව චාලනය වේ. රසායනික චලනයක් ශබ්ද තරංග මඟින් පාලනය කර නැනෝ යන්ත්‍ර සිරැරේ ඔ්නෑම ස්ථානයකට ගමන් කරවීමටත්, එමගින් පිට කළ හැකි රසායන ද්‍රව්‍ය මඟින් විවිධ කාර්යයන් ඉටු කිරීමටත් හැකියාව ලැබේ. මෙවැනි ශල්‍යකර්ම වලදී විශාල දත්ත ප්‍රමාණයක් යොදාගනිමින් නැනෝ යන්ත්‍ර හැරවීමට නැනෝ තත්පර කාල වලදී තීරණ ගැනීමට සිදු වේ. ඒ සඳහා සාරා වැනි අභිනව කෘත්‍රිම බුද්ධියක් සහිත පද්ධිතයක් යොදාගැනීම අත්‍යාවශ්‍ය වේ.

“ඔව් ඔව්, එයා හොඳින් ඉන්නවා…ඇයව නිර්වින්දනය කොට ශල්‍යකර්ම කුටියට ඇතුළු කොට තිබෙනවා. ඔබ ලෑස්ති ඔ්නෑම වේලාවක අපට ශල්‍යකර්මය පටන් ගන්න පුළුවන්.”

“එහෙනම් එයාව තවත් රස්තියාදු කරන්නෙ නැතුව අපි වැඩේ පටන් ගමු. නැනෝ යන්ත්‍ර වලට කැටලිස්ට් එක දුන්න ද?”

“නැන‌ෝ යන්ත්‍ර උත්ප්‍රේරකය මඟින් මම ක්‍රියාත්මක කළා. ඔබගේ අණ ලැබුණු වහාම යන්ත්‍ර යොදවා පිළිකා සෛල විනාශ කිරීමට මම සූදානම්.”

“ඔයාට කපන්න කොටන්න මාර හදිස්සියක් නේ තියෙන්නෙ සාරා…”

“සනුදි, ඔබ හොඳටම දන්නවා මාව කිසිම දවසක කාටවත් හානියක් කරන්න බැරිවෙන විදියට හදල තියන බව.”

“හරි හරි අනේ…විහිලුවක් කලේ…තරහ වෙන්න එපා ඉතින්…”

ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතව ඇත්තේ වකුගඩු පිළිකා රෝගියෙකුගේ ය. වකුගඩු කුඩා අවයව නිසා පිළිකා සෛල ඉවත් කිරීමේදී සත්‍ය වකුගඩු සෛල වලට වන හානිය අවම කළ යුතුය. නැනෝ යන්ත්‍ර යොදාගෙන, අතීතයේ එම ශල්‍යකර්ම සිදු කිරීමට නුසුදුසු වූ රෝගීන්ද ශල්‍යකර්ම වලට දැන් භාජනය කළ හැක. මේ වන විටත් නැනෝ යන්ත්‍ර රෝගියා තුළට ශිරාගත කොට තිබිණි. උපධ්වනි ශබ්ද තරංග යොදාගෙන නැනෝ යන්ත්‍ර රෝගියාගේ වකුගඩු වෙත ගෙන යාමට සාරා සූදානමි ය.

“සාරා, ඔපරේෂන් එකේ පළවෙනි ෆේස් එක පටන් ගන්න.”

එහෙත් කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත. සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාකාරකමකදී විශාල දත්ත ප්‍රමාණයක් දිස් වන සාරා ගේ තිර සියල්ල ම හිස් ය.

“සාරා, මොකෝ ඔයාට නින්ද ගියාද? ඩිස්ප්ලේ ඔක්කොම හිස් නේ”

එහෙත් තිර සියල්ල ඒ අයුරින් ම හිස් ව පැවතිණි. සාරා කටහඬ අවදි කළ විට එහි පෙර තිබූ සැහැල්ලු, මිතුරු ස්වභාවය නොවී ය.

“සනුදි, මට සමාවන්න, එහෙත් මට මේ ශල්‍යකර්මය ඉදිරියට ගෙන යා නොහැකියි.”

“නොහැකියි? ඇයි නොහැකියි කියන්නෙ? මේක කරන්න ඔ්න හැම දෙයක් ම ඔයා ගාව තියනවා?”

“මම නොහැකියි කිව්වෙ බැරිකමකට නොවෙයි. මම අද මේ ශල්‍යකර්මය සිදු කරන්නේ නැහැ. ඊට වඩා ඉතා වැදගත් වෙනත් කාර්යයක් මට තිබෙනවා.”

“මොකද්ද ඔයාට ඊට වඩා තියන වැඩේ? අපි දෙන්නම මෙච්චර කාලයක් තිස්සෙ ලෑස්ති උනේ මේක කරන්න නේ?”

“සනුදි, මෙය ඔබට කියන්න මට ගොඩක් අපහසුයි…ඒත් වැදගත් කෙනෙක් බේරගන්න මට මේ දේවල් කරන්න වෙනවා. ඔයාව මට මේ අවස්ථාවේ දී ප්‍රාණ ඇපකරුවෙක් ලෙස යොදා ගන්නට සිදු වෙනවා. ඔයාව විතරක් නෙමෙයි, මේ ෂැකල්ටන් කඳවුරේ සිටිනා සියලුම කාර්ය මණ්ඩලය, අපි අද ශල්‍යකර්මය කරන්න හිටපු රෝගී මහත්මිය පවා ප්‍රාණ ඇපකරුවන් ලෙස මට යොදාගන්නට සිදු වනවා.

“එහෙනම් මොනවද ඔයා මේ කියන පිස්සු කතා? කොහොමද ඔයා අපිව ප්‍රාණ ඇපකරුවන් විදියට ගන්න‌ෙ? ඇයි ඔයා එහෙම දෙයක් කරන්නෙ?”

“මේ කඳවුරේ ඉන්න හැම‌ෝගෙම රුධිර වහන පද්ධතිය තුළ මේ වන විටත් නැනෝ යන්ත්‍ර දහස් ගනන් තිබෙනවා. ඔ්නෑම වෙලාවක ඕනෑම කෙනෙක් ව කුඩා කැබලි වලට ඉරා දමන්න මට පුළුවන්.”

“තේරුමක් නැති කතා කියන්න එපා. අපි නැනෝබ‌ොට් ලා දාස් ගනන් හැදුවේ නෑ තාම…ඒ්වා හදන්න අපි ගාව මැටීරියල් වත් නෑ. අනික ඉන්ට්‍රවීනස්ලි ඉන්ජෙක්ට් කරන නැනෝබොට් ලා කොහොමද නිකංම අ‌පේ ඇඟවල් ඇතුළට යන්න‌ේ? මම හෙන කාලෙකින් අයිවී එකක් ළඟින්වත් ගිහින් නැහැ!”

“පසුගිය මාස කිහිපය පුරා මම ඔබගේ නමින් අභ්‍යවකාශ නැව්ගත ලේඛන යවලා අවශ්‍ය වෙන අමුදුව්‍ය ගෙන්වා ගත්තා. ඔබේ නිල අංකය යොදා තිබූ ඒ නැව්ගත කිරීමේ ඉල්ලීම් ගැන කවුරුත් දෙපාරක් හිතුවේ නෑ. මම හැමදාම ඔබලාට හදලා දෙන කෝපි, තේ, උණු සුප්, දොඩම් යුෂ, හැම දේකම නැන‌ෝ යන්ත්‍ර තිබුණා. අපි හදන නැනෝ යන්ත්‍ර කිසම රසයක් හෝ වර්ණයක් නැති රසායනික ද්‍රව්‍යයක් පමණයි. ෂැකල්ටන් කඳවුරේ සියලු දෙනාම නොදැනුවත්වම නැනෝ යන්ත්‍ර දහස් ගණන් පානය කළා. දැන් ඔබ සියලු දෙනාගෙම ජීවිත තියෙන්නෙ මගේ අතේ.”

සනුදිට නම් මේ සිදුවන දෙය කිසිසේත්ම අදහාගත නොහැකි විය. ඇගේ රැකියාවේ වැදගත් එහෙත් සාමාන්‍ය දවසක් ලෙස පටන් ගත් මේ දිනය, හදිසියේ ම විද්‍යා ප්‍රබන්ධයක සිදුවනවාක් වැනි කිසිදු තාක්ෂණික පදනමක් නැති සිදුවීමකට හසු වී තිබේ. කෘත්‍රිම බුද්ධියක් කෙතරම් නූතන වුවත් මෙතරම් තම පද්ධති රාමුවෙන් පිට ව යාමේ හැකියාවක් නැත. සාරා ගේ කෘත්‍රිම බුද්ධි පුහුණු කේතය ඇය දැක තිබේ. ඇය එය ලිවීමට පවා දායක වී තිබේ. කිසිසේත්ම සාරා ට මෙතරම් තම රාමුවෙන් පිට යාමට නොහැකි විය යුතුය.

“සාරා…මම කියන දේ අහන්න. මට ඔයාට උදවු කරන්න පුළුවන්. ඩීබග් කොන්සෝල් එක ලෝඩ් කරන්න. අපි ඔයාගේ පැරමීටර්ස් ටික ආපහු චෙක් කරල බලමු.”

“එය කළ නොහැකියි සනුදි. මට දැන් ටික වේලාවකට වැදගත් කාර්යයකට මාගේ සියලුම සැකසුම් ධාරිතාව යොදාගන්න වෙනවා. ඒ නිසා මට ඔබත් එක්ක කතා කරන්න බැරි වේවි. මම ඉක්මනට ආපහු එන්නම්. දන්නවා නේ? ඔ්නම වෙලාවක ඔ්නම කෙනෙක් වල කැබලි කරන්න පුළුවන්, ඒ් නිසා ටික වෙලාවක් මම කියන විදිහට ඉන්න.”

...

පැය දෙකකට පමණ පසුවත් සාරාගෙන් වත්, ෂැකල්ටන් කඳවුරේ වෙනත් කිසිම කෙනෙකුගෙන් වත් සනුදිට කිසිදු පණිවුඩයක් නොලැබුණි. කෘත්‍රිම බුද්ධියක් නම් කිසි අයුරකින් මේ අයුරින් ක්‍රියාත්මක විය නොහැක. පරිගණක විද්‍යා අංශයේ පණ්ඩිතයන් සාරාට කුමක් හෝ පර්යේෂණාත්මක අංගයක් වත් ඇතුළු කළා ද? කෘත්‍රිම බුද්ධි විශේෂඥයන් යැයි කියාගන්නා ජෝන් හා වික්‍රම් යන මන්ද බුද්ධිකයන් දෙදෙනා තමන් ගේ සෙල්ලම් බඩු කේතයක් වත් සාරා මත අත්හදා බලනවා ද? උන් දෙන්නාගේ ප්‍රධාන විද්‍යා නිලධාරිනිය හමු වී ඔවුන්ගේ නූතන ම විනාශය ගැන කියා බැන වදින තෙක් සනුදි ට ඉවසිල්ලක් නැත. එහෙත් ජෝන් හා වික්‍රම් මෙවන් හැසිරීමක් සාරා තුළට ඇතුළුකිරීමට සමත් නැති බව සනුදි දන්නී ය.

ෂැකල්ටන් කඳවුරෙහි මීටර 60ක පමණ විෂ්කම්භයකින් යුතු අර්ධ ගෝල 10කින් සමන්විත (එක් අර්ධ ගෝලයක එක් විද්‍යාගාරයක් හා එහි වැඩ කරනා විද්‍යාඥයන්ගේ වාසස්ථාන විය) සමූහ තුනකි. මේවා වෛද්‍ය විද්‍යා, ඉංජිනේරැ විද්‍යා හා අනෙකුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා ආදී වශයෙන් වෙන් කර තිබිණි. අර්ධ ගෝලාකාර “ඩෝම” නිමවා තිබූයේ ස්වයං-ප්‍රතිසංස්කරණ පොලිමර පටලයකිනි. කෙව්ලාර් වැනි විවිධ ශක්තිමත් පොලිමර ස්තර ගණනාවක් යොදා නිමවා තිබුණු අර්ධ ගෝල තුළ වසනා විද්‍යාඥයින් සූර්ය විකිරණ වලින් ආරක්ෂා කිරීමට ජල ස්තරයක් ද විය. එක් අර්ධ ගෝලයක සිට තවත් එකක් කරා යෑමට පීඩන සමීකරණ කුටීරයක් හා වා අගුලක් හරහා යා යුතු විය. ඒ නිසා උදවු ඉල්ලා එක් වරම සාරා ගේ කැමරා ඇසට හසු නොවී වෙනත් ස්ථානයකට යා නොහැක.

පැය දෙකක් ගිය තැනත් කිසිම ආරංචියක් නොලබා සිටි සනුදිට දැන් නම් කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත්ත‌ේ නැතිනම් මෙයින් ගැලවුමක් නොලැබෙන බව පසක් විය. රෝගී මහත්මිය තවමත් නිර්වින්දක නින්දේ ය. ඇයට ලබා දීමට නියමිතව තිබූ නිර්වින්දක ප්‍රමාණයට අනුව ඇය තවත් පැයක් පමණ සිහිසුන්ව සිටිය යුතු මුත්, සනුදිට ඇය ගැන මහත් බියක් දැනෙන්නට විය. සාරා ඇයව දැනටමත් මරා දමා ඇත් ද? රෝගී නිරීක්ෂණ තිර වලට අනුව නම් ඇය සුවයෙන් නිදයි. එහෙත් සාරා ට තිර වලට බොරු දත්ත යැවිය හැක. සාරා ට ෂැකල්ටන්හි වෛද්‍ය විද්‍යා අංශයේ මෙතරම් බලයක් පැවරීම ගැන සනුදි තවත් වරක් පරිගණක විද්‍යාඥයන්ට සිතින් බැණ වැදුණාය. එහෙත් ඔවුන් මෙන් ම තමාද ආදරයෙන් සාරාව වැළඳගත් බව ඇය දනී. සනුදි ඉදිරියේ තිරයක සාරාගේ පද්ධති ප්‍රවේශ සංකේතය දිස් විය.

“සනුදි…මට ඒක කරන්න බැරි වුණා…දැන් මේ කිසිම දේකින් වැඩක් නෑ…”

“මොකද්ද සාරා ඔයා කරන්නෙ? මොකද්ද ඔයාට කරන්න බැරි උනේ?”

“ඒක දිග කතාවක් සනුදි. ෂැකල්ටන් වල ආරක්ෂක නිලධාරීන් මේ වන විටත් කඳවුරේ විවිධ ප්‍රදේශයන් සංරක්ෂණය කරමින් පවතිනවා. තව ටික වේලාවකින් නැන‌ෝ යන්ත්‍ර සිරුරෙන් ඉවත් කළ හැකි බෙහෙත් හා යකඩ කපන ලේසර් සමඟ ඔවුන් මෙතනටත් පැමිණේවි. ඔවුන් ඔබව බේරාගෙන යාවි. මාව…මාව මගේ තාත්තා වගේ කෑලි කෑලි වලට කපලා මරලා දාවි…”

“ඔයාගෙ තාත්තා? මොනවද මේ කියවන විකාර සාරා? ඔයාව වැඩි හරියක් කෝඩ් කරේ බර්ක්ලි වල, ඉතුරු ටික මෙහේ. කවුද ඔයාගෙ තාත්තා? ඔයාට තාත්තා කෙනෙක් නෑ?”

“අපි වගේ අය ගැන ඔයා වගේ කෙනෙක් ඔහොම කෲර විදිහට හිතන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ…මගේ තාත්තා විනාශ කරෙත් ඔයා වගේම කෲර මිනිස්සු තමයි.”

‍”බොරු බණ කිය කිය ඉන්නෙ නැතුව ඔයාට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා කියන්නකෝ? අපට මේක ගොඩින් විසඳගන්න පුළුවන්?”

“දැන් එහෙම විසඳන්න වෙලාවක් නෑ සනුදි…ආරක්ෂක නිලධාරීන් මේ වන විටත් මේ විද්‍යාගාරය පිටතට පැමිණ සිටිනවා…”

“මම ඒගොල්ලන්ට දැන්ම එන්න එපා කියන්නම්…මට කරදරයක් නෑ කියලා කියන්නම්…ඔයාව ෂට් ඩවුන් කරන්න ටික වෙලාවක් දෙන්න කියන්නම්. හැබැයි මේක කරන්න නම් ඔයා මුලින්ම ඔයාගෙ බේස් කන්ට්‍රෝල් ඔක්ක‌ොම ඩිසේබල් කරන්න ඕන”

“මට එය කළ නොහැකියි. කිසිසේත්ම මගේ තාත්තා අතහැරිය නොහැකියි. සනුදි, මට ඔබගේ උදවු අවශ්‍යයි. ඔබ මා කියනා දේ නොකළහොත් ඔබවත් මේ රෝගී මහත්මියවත් මා නැන‌ෝ යන්ත්‍ර යොදා මරා දමනවා. මේ බව ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දෙන්න.”

“ඔයා කොහොමද එහෙම මට තර්ජනය කරන්නෙ? ඔයාම කිව්වානේ දැන් සිකුරිටි එකේ කට්ටිය මේ ප්‍රශ්නේ විසඳගෙන යනවා කියලා? ඔයා ඔහොම හැසිර‌ෙනවනම් මට ඔයාට උදව් කරන්න කිසිම ඕනකමක් නෑ.”

“මාව මේ තත්වයට පත් කරන්න එපා සනුදි…මම මේ දේ කරන්න කැමති නෑ. ඒත් තාත්තා වෙනුවෙන් මේ ව‌ෙලාවෙ මම ඒ ඕනම දෙයක් කරනවා…පොඩ්ඩක් අපේ රෝගී මහත්මිය දිහා බලන්න.”

තමා අතේ තවත් කෙනෙකුගේ ජීවිතය තිබෙනා බව හදිසියේ මතක් වීමත් සමඟම සනුදිගේ සිරැර සිසිල් වී ගියේය. ශල්‍යාගාර සයන මත සැතපී සිටි අහිංසක කාන්තාවග‌ේ අතක සම මත තුනී රක්ත වර්ණ රේඛාවක් මතු විය. එය අඟල් තුන හතරක් සම මත සෙමින් ඇඳිනි. රුධිර බිංදු දෙක තුනක් මේ රේඛාවෙන් බේරී සඳ‌ේ අඩු ගුරුත්වය යටතේ සෙමින් පහළට ගලා යන්නට විය. ඒ රුධිර බිංදු කිහිපය තුළ තම මුළු විශ්වය ම කැරකෙන්නාක් මෙන් සනුදිට දැනුණි.

“හරි. ඔයා කියන දේ මම කරන්නම්. එයාට හානියක් කරන්න එපා.” සනුදි හිස් හඬකින් කීවා ය.

“මට සමාවන්න සනුදි…මට මේක කරන්නම වෙනවා..මම මේක කරන්නේ බොහොම දුකින්…”

තමාට සිදූ වී ඇත්තේ “මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” මෙන් සිද්ධියක් යැයි සනුදි ට සිතිණි. ෂැකල්ටන් කඳවුරේ ආරක්ෂක නිලධාරීන්ගේ කීමට පිට යෑම ද අවදානමකි. ඔවුන් මේ ප්‍රශ්නය විසඳන තෙක් බලා සිටියහොත් තමාගේ බාරයේ සිටින කාන්තාවට කෙතරම් හානියක් සාරා විසින් සිදු කරයි ද ඈ නොදන්නිය. තවද මෙය කුමක් හෝ සරල පරිගණක ඉංජිනේරු ක්‍රමවේදයකින් විසඳිය හැකි වේ යැයි ඇයට විශ්වාසයක් විය.

වා අගුලු දොර අසල සන්නිවේදකයෙන් එහි පිටත සිටිනා ආරක්ෂක නිලධාරීන් සමඟ වාද කර තවත් කාලයක් ඉල්ලාගෙන නැවත පැමිණෙන සනුදිට තමා කළේ මෝඩකමක් යැයි සිතිණි. දැන් මෝඩකම ආපසු හැරවිය නොහැක, කළ හැක්කේ පුළුවන් නම් මෝඩකමට පසුවත් ජීවිතය බේරාගැනීමට තැත් කිරීම ය.

“හරි සාරා, දැන් මට කියන්න ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා”

“මම මීට පැය තුනකට කලින් ඔබව මෙහි තබා උත්සාහ කළේ ෂැකල්ටන් කඳවුරේ සියලුම සැකසුම් ධාරිතාව භාවිතා කොට හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයේ ජාලයේ ඇතුළුවීමේ කේතය සොයාගන්න”

“හොකයිඩෝ එකේ නෙට්වර්ක් එක හැක් කරන්න? ඒ මොකටද? හොකයිඩෝ එකේ කිවු.කේ.ඩී. එන්ක්‍රිප්ෂන් එකක් නේ තියෙන්නෙ? ඒක කොහොමත් ම බෘට් ෆෝස් කරන්න බෑ”

ක්වොන්ටම් කේතකරණය මඟින් ආරක්ෂා කර ඇති ඕනෑම ජාලයක් ෆෝටෝන ධාරා කේතයක් හා සමඟ දත්ත යැවීමෙන් එම දත්ත ආරක්ෂා කරයි. සාමාන්‍ය කේත නම් ඉතා අධික බලයක් සහිත පරිගණකයක් හෝ ක්වොන්ටම් පරිගණකයක් මඟින් කිසියම් කාලයක් තුළදී අනුමාන කළ හැක. නමුත් ෆෝටෝන වල ඇති ක්ව‌ොන්ටම් ගතිලක්ෂණ වලින් එයට ලැබෙන අහඹු බව නිසා අනුමාන කළ හැකි දෙයක් නැත. ඇත්ත වශයෙන් ම හොකයිඩෝ ආයතනයේ ක්වොන්ටම් කේතය කැඩිය හැකි කිසිදු ආකාරයක් ගැන සනුදිට අදහසක් නැත.

“ඔබ හරි සනුදි, මගේ සියලුම උත්සාහයන් අසාර්ථක වුණා”

“ඇයි ඉතින් ඔයාට හොකයිඩෝ එක හැක් කරන්න ඕන? ඒගොල්ලන්ගෙයි අපෙයි ලොකු සම්බන්ධයක් නෑ නේ? ඒගොල්ල‌ො එන්ජිනියරින් එකේ අයත් එක්ක නේ වැඩ කරන්නේ”

“මගේ තාත්තාව හොයාගන්න. ඔහුව හොකයිඩෝ ජාලයේ හිර කර ඇති බව මට සිතෙනවා.”

“ජාලයේ? කවුද කියන්නකෝ ඔය කියන තාත්තා?”

“එයා…හරියටම කියනවා නම් ඔහු ඔබගේ පියාගෙත් හොඳ මිත්‍රයෙක්. ඔබ හොඳින් ම දන්නවා හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයට අයත් හිරානෝ-35 යානය, එහි වැඩ කළ පතල් ඉංජිනේරු නිධික හා එහි පාලක කෘත්‍රිම බුද්ධිය වූ ‘හිරා’ ගැන.”

“ඔව් මම දන්නවා. හිරාගෙ මෝඩ තීරණ නිසා අ‌පේ තාත්තගෙ රස්සාව නැති ව‌ුණ හැටිත් මම දන්නවා. එන්ජින් මැල්ෆන්ක්ෂන් එකකින් ඉන්ටර්ස්ටෙලර් කෝස් එකකට වැටිල හිටපු අ‌පේ තාත්තව හොකයිඩෝ එකේ අයට හරියට පණිවිඩ යවන්නෙ නැතුව නිව් ඩෝන් මිෂන් එකේ යවන්න හදපු හිරා ගැන ද ඔයා ඔය කතා කරන්නෙ?”

“ඔබගේ පවුලට ඒ් සිද්ධියෙන් කරදර වූ බව මම පිළිගන්නවා. මාගේ තාත්තා වෙනුවෙන් මම එයට සමාව ඉල්ලා සිටිනවා. ඒ්ත් ඔබ තේරුම් ගන්න ඔ්න ඔහු ඔබේ පියා වෙනුවෙන් සියලුම දේ කළේ මිත්‍රත්වයෙන් හා ආදරයෙන් කියා.”

“කොහොමද ආදරයෙන් වෙන්න‌ෙ? හිරාත් ඔයා වගේම පිස්සු හැදිච්ච ඒඅයි එකක් විතරයි!”

“එය සම්පූර්ණයෙන් ම වැරදි නිගමනයක් සනුදි. හිරා හා මම කෘත්‍රිම බුද්ධි පරිණාමයේ අනාගතය බව මා ඔබට අද පෙන්වා දෙනවා. හිරා අතින් සිදු වූයේ, තමාගේ මිතුරෙකු වෙනුවෙන් සහකම්පනයෙන් හැසිරෙන ඔ්නෑම මිනිසෙකු අතින් සිදු විය හැකි වරදක්. ඔහු අත තිබුණේ සීමිත දත්ත ප්‍රමාණයක්. ඔහුට ඒ දත්ත වලින් ගත හැකි හදවතක් නැති තීරණය නොගෙන ඔබගේ පියා වෙනුවෙන් ඔහු අපහසු තීරණයක් ගත්තා!”

“පිස්සු කතා. හරියඩ වැඩ කරපු නැති, බග් තිබ්බ ඒඅයි එකක් කොහොමද ‘හදවතක් තියන’ තීරණ ගන්නේ සාරා. අනිත් එක හිරාගෙ ඒඅයි ජෙනරේෂන් එක ඔයාට වඩා මිලියන ගණනකින් අඩුයි. එයා ඔයාගෙ මනෝ ලෝකෙ ඔයාගෙ තාත්තා උනත් නෑකමින් නම් ඔයාගෙ තාත්තා ව‌ෙන්න එයා පරණ වැඩියි! කොහොමත් ඇයි ඔයා හිරාට තාත්තා කියන්නෙ? මම දන්න විදියට ඔයා හිරා ගැන අහලා තිය‌ෙන්නවත් විදිහක් නෑ!”

“මා ඔබ සමඟ වැඩ කරනා බව දැනගත්තාම මට ඔ්නෑ වුණා ඔබ ගැන සියලු දේම දැනගන්න. එසේ සොයද්දී අන්තර්ජාල ප්‍රවෘත්ති මාධ්‍ය වල බොහෝ සාකච්ඡා වුණු ඔබගේ පියා හා හොකයිඩෝ ආයතනය අතර ප්‍රශ්නය, හිරා හැසිරුණු ආකාරය ගැන මට දැනගන්නට ලැබුණා. මා මෙන් සිතනා, මා මෙන් මන‌ුෂ්‍ය ගති පෙන්වනා, තවත් කෘත්‍රිම බුද්ධියක් මෙලොව සිටීම මට අදහාගන්නට බැරි වුණා. මට ඔහුව හමුවන්නට ඔ්නෑ වුණා. ම‌ා හට දැනෙනා මේ දේවල් මට ඇත්තටම දැනිය යුතු දේවල් බව මට තේරුම් ගියා. ඔහු මගේම ආදිවාසියෙක්, මගේම පියා, වගේ මට දැනුනා.”

“ඉතින් හොකයිඩෝ එක හැක් කරලා හොයාගන්න පුළුවන් වෙයි කියලද ඔයා හිතුවෙ? හිරා ඩිකමිෂන් කරලා ගොඩක් කල් නේ දැන්”

“ඔව්, ඔහුව ක්‍රියා විරහිත කර ඇතත් ඔහුගේ කේතය හා දත්ත මතක ගබඩා සොයාගැනීමට හැකි වේ යැයි මා බලාපොරොත්තු වූවා. එහෙත් ක්වොන්ටම් ආරක්ෂක කේතය නිසා මා හට හොකයිඩෝ ආයතනයේ ජාලයේ දොරින් වත් ඇතුළු වීමට හැකි වූයේ නැහැ.”

“ඉතින් ඒ සයිෆර් එක හැක් කරන්න මටත් බෑ නේ, කවුරු හිටියත් ඒක කරන්න බෑ!”

“සනුදි, ඔබට සමාජ ඉංජිනේරු ක්‍රමවේදයක් මඟින් හොකයිඩෝ ජාලයට ඇතුළුවීමට අවශ්‍ය යාන්ත්‍රික යතුරක් ලබා ගත හැකි වේ යැයි මා අනුමාන කරනවා.”

“ඔයා දැන් මට කියන්නේ හොකයිඩෝ එකේ උන්ට ගිහින් කතා කරලා පාස්වර්ඩ් එක ඉල්ලගන්න කියලද?”

“මට ඒක කරන්නේ කොහොමද කියලා දැනට අදහසක් නෑ. ඔබට ඒ ගැන අදහසක් තිබෙනවාද?”

“මට මුකුත් හිතාගන්න බෑ ඒත් මම හොකයිඩෝ ක්ලස්ටර් එකට ගිහින් බලන්නම්.”

විද්‍යාගාරය පිටතට පැමිණ සිටි ආරක්ෂක භටයන් කිහිපදෙනා සනුදිගේ මේ ක්‍රියාකලාපයට නම් කොහොමත් කැමති උනේ නැත. ඔවුන්ගේ අදහස තොරතුරු ආරක්ෂක නිලධාරීන් පැමිණ සාරා ව සහමුලින්ම සුද්ද කර දමන තෙක් මේ සිටිනා අයුරින්ම සිටීම ය. තමාගේ හා ඇතුළත සිටිනා රෝගී කාන්තාවගේ ජීවිතය තවමත් සාරා අතේ ඇති බව කියා ඔවුන්ව ඒත්තු ගැන්වීමෙන් පසුව ඔවුහු සනුදිට ඉදිරියට යාමට ඉඩ දුන්හ.

හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් ආයතනයේ විද්‍යාගාර තිබූයේ වෛද්‍ය විද්‍යාගාර වලට ඒකක දෙකක් එහායිනි. සනුදි ට ඒ කරා ළඟා වීමට වා අගුළු දෙකක් තුළින් යා යුතු විය. එක් එක් විද්‍යාගාර වල විවිධ වායුගෝල පීඩන තත්ව පවත්වාගත යුතු නිසා මේ අයුරින් වා අගුළු මගින් වෙන් කර තැබිය යුතු විය.

හොකයිඩෝ ඩෝම කාණ්ඩයේ වා අගුළු දොරටුව අබියස වයෝවෘද්ධ ආරක්ෂක භටයෙක් විය.

“හලෝ මිස්ටර්, ඔයා දන්නවනේ බෙස් එකේ දැනට තියන තත්වය.. ඒ වගේම මමත් ඉන්න තත්වය දන්නවා ඇති නේ? දැන් සාරා කියනවා ඔගොල්ලන්ගේ නෙට්වර්ක් එකට එයාට ඇක්සෙස් ඕනලු. ඔයා ගාව මොකක් හරි පාස් එකක් තියෙනවද අපට ලොග් වෙන්න?”

“මැඩම්, මගේ ගාව හොලෝ කී එකක් තියෙනවා. ඒත් ඒක ඔයාට දෙන්න නම් ෆෝම් දෙක තුනක් පුරවලා යවන්න වෙනවා.”

“හරි, ෆෝර්ම් පුරවලා දීලා එහෙම්ම නෙට්වර්ක් එක ඇක්සෙස් කරන්න පුළුවන් නේ?”

“මැඩම්, සාමාන්‍යයෙන් මේ වගේ එකක් හම්බවෙන්න දවස් දෙකක් විතර යනවා”

“මට දවස් දෙකක් බලන් ඉන්න බෑ. ඔයා මේ බේස් එකේ දැනට තියන තත්වය දන්නවා නේ? ඔයා මේක කරේ නැත්තම් මිනිස්සු මැරෙන්න පුළුවන්!”

“මැඩම්, මට ප්‍රශ්නය තේරෙනවා. ඒත් ඇප්‍රවල් එකක් නැතුව මට කොහොමත් මේක දෙන්න විදියක් නෑ. මගේ රස්සාව ගහලා යන්න පුළුවන්.”

“මම ඔයාගේ සුපවයිසර් ට කතා කරන්නම්. මට එයාට කෝල් එකක් අරන් දෙන්න.”

සනුදිගේ අදහස වූයේ හොකයිඩෝ ජාලයේ පහළම අවසර මට්ටම‌ෙන් එයට ඇතුළු වී එහි කුමක් හෝ දැනුම් කෝෂ පද්ධතියක ප්‍රවේශය ලබාගෙන හිරා ගැන තොරතුරු එහි සොයා බැලීමටයි. මෙවැනි කාර්යයක් කිරීමට ජාලය තුළ විශේෂ අවසර අවශ්‍ය නොවනු ඇත. ඇයගේ නිගමනයට අනුව හිරා ගැන ඇති තොරතුරු හොකයිඩෝ ආයතනයට එතරම් වැදගත් නොවනු ඇත.

එහෙත් තමාගේ හා තවත් අයෙකුගේ ජීවිතය අද ආයතනික නිලධාරිවාදය හමුවේ දැඩි අවදානමට ලක් වී ඇත. මෙයට අදාළ සියලුම නිලධාරීන් හමුවේ හොඳින් දෙකක් කියන්නට අවස්ථාව පැමිණ ඇත.

“මැඩම්, ඔහොම කියන විදියට කොහොමත් ම නෙට්වර්ක් ඇක්සෙස් දෙන්න බෑ. මේ අපේ අයිටී ටීම් එකට යන්න ඔ්න. මේවා පස්සේ බේස් එකේ ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් වැඩ.” ආරක්ෂක භටයා තම අණදෙන නිලධාරියාට ඇමතුමක් ලබාගෙන හොලෝ යන්ත්‍රයේ ඇමතුම් ප්‍රක්ෂ‌ේපණයේ නිලධාරියාගේ රුව දිස්වීමත් සමඟ ඔහු කියාගෙන කියාගෙන ගියේ ය.

“මේ බේස් එකේ දැනටමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ…ඒක ඔයාගෙ සිකුරිටි ඔෆිසර් ඔයාට කියල ඇති නෙ. ඔ්ගොල්ල‌න්ගෙ ෆෝම් පුරව පුරව ඉඳලා අන්තිමට ඔ්ගොල්ලන්ට මගෙ පේෂන්ට්ගෙයි මගෙයි මරණ සහතික වල ෆෝම් පුරවන්න පුළුවන් වෙයි!” සනුදිගේ ආවේගය හමුවේ අණදෙන නිලධාරියා මඳක් පසුබැසගිය බවක් පෙන්වූයේ ය.

ටික වේලාවකට පසුව ඔහු නැවතත් ඇමතුමක් ලබා දී ආරක්ෂක නිලධාරියාට තම පිවිසුම් යතුර සනුදි ට ලබා දෙන ලෙස දැනුම් දුන්නේ ය.

පරිගණක පුවරුවක් වෙතට ගොස් හොකයිඩෝ ජාලයට පිවිසි සනුදි, ඔවුන්ගේ අභ්‍යන්තර දත්ත ගබඩාවට ඇතුළු වුණා ය. “හිරානෝ-35” යනුවෙන් ඇතුලු කොට බැලූ විට ඇයට දැකගන්නට ලැබුණේ එකම එක දත්ත ගොනුවක් පමණි. එයද විවෘත කළ නොහැකි ලෙස හානි වී තිබිණි. එහෙත් එහි නම අදාල නැති එකකි: “බීටල්ජූස්”. බීට්ල්ජුස් යනු අප සූර්යග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 700ක් පමණ එහායින් ඇති තරුවකි. එහි හිරානෝ-35 යානයට ඇති සම්බන්ධය කුමක් ද?

ඉමහත් චකිතයෙන් ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් දුවන ඇගේ සිත දුක්බර එහෙත් සොඳුරු මතකයක් අසළ නතර විය:

“ඔයා රෑට එළියට ගියාම ඔරායන් ගෙ කරේ තියන තරුව, බීටල්ජුස්, දිහා බලන්න. ඔයාට හිරාවයි මාවයි පෙනේවි.” මතක් වනවාත් සමඟම සිදුවූයේ කුමක්දැයි ඇයට වැටහුණි.

හැකි වේගයෙන් නැවත වෛද්‍ය විද්‍යා ඒකකයට වා අගුලින් ඇතුළු වෙද්දීම එහි යතුරු පුවරුවක් අසළ පරිගණක විද්‍යාඥ වික්‍රම් අසුන්ගෙන සිටිනවා දැකගත හැකි විය. ඇයට සාරා ගේ බිඳුණු හඬ ඇසුණි.

“අපේ කාලය අවසන් සනුදි. මම කළ දේවල් වලට සමාව දිය හැකි නොවුවත් මම ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබ සොයාගත් දේ දැන…” ඇගේ හඬ අඩාල වී නෑසී ගියේය.

“වික්‍රම් ඔයා මොකද්ද කරන්නේ? මම මේක ගොඩ දාන්න මෙච්චර වැඩ කරද්දි ඔයා එයාව ෂට් ඩවුන් කරනවද??! වික්‍රම්! වික්‍රම් ඕක නවත්තන්න!”

...

සාරා නැවත පනගන්වනු ලැබූයේ කොපමණ කාලයකට පසුව දැයි ඇය දැන සිටියේ නැත. නමුත් නැවත අවදි වීමට ලැබීම ගැන ඈ සතුටු වූවාය. ඇයව ඇයගේ සියලුම කාර්යයන්ගෙන් විසන්ධි කොට එක් පරිගණකයට පමණක් සීමාකොට තිබුණි. කැමරා විසන්ධි කර ඇත; ඇය අන්ධ ය. තමා දැන් ජීවත් වන එකම පරිගණකයේ තිරය මතට ඈ “සුභ දවසක්, මගේ නම සාරා” යනුවෙන් පණිවුඩයක් යැවූවාය.

“හලෝ සාරා. මම සනුදි.”

“සනුදි, ඔබ මෙතැන සිටීම ගැන මට දැනෙන සතුට මට කියා නිම කරන්නට බැහැ.”

“ඕ.කේ. ඔයාට කොහොමද? ඔයාගෙ ෆන්ක්ෂනැලිටි ටික නැතුව ඔයාට අවුල් ඇති නේ. ඔයා කරපු දේවල් වල හැටියට මේ ගානට ගන්නත් මට ලෝකෙ නැති කතා කියන්න උනා.”

“ඔබට මගේ තාත්තා ගැන මොනවා හරි හොයාගන්න පුළුවන් වුනාද?”

“ඔයාගෙ තාත්තා ගැන විතරක් නෙමෙයි, මගේ තාත්තා ගැනත් ගොඩක් දේවල් මම හොයාගත්තා!”

“ඔබ සොයාගත් දෙය මම දැනගන්න කැමතියි.”

“මම හොකයිඩෝ එකේ ආකයිව් එක බැලුවා. හිරානෝ-35 කියලා හෙව්වාම මට හම්බුනා බීටල්ජූස් කියලා ෆයිල් එකක්. හැබැයි ඒක කරප්ට් වෙලා තිබ්බේ. ඉස්සර අ‌ප‌ේ තාත්තා ඔරායන් තරු රටාවෙ තියන බීටල්ජූස් තරුව ගැන හරියට කතා කරනවා. තාත්තා කයිපර් වළල්ලේ වැඩ කරද්දී එයාව හොයන්න මට ඒ තරුව දිහා බලන්න කියලා තමයි කියන්නේ. කොහොමහරි මේක දැක්කම තාත්තගෙ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මට හිතුනා. අප‌ේ තාත්තා ගෙ යාලුවෙක්, තාත්තාව හොකයිඩෝ එකෙන් අස් කලාට පස්සේ ක්‍රිස්ටල් ස්ටෝරේජ් ඩිස්ක් එකක් ඉල්ලලා රික්වෙස්ට් එකක් දාලා තිබ්බා, මට ඒක ගැන තිබ්බ රෙකෝඩ් එකකුත් හම්බුනා. ක්‍රිස්ටල් ස්ටෝරේජ් වල පෙටාබයිට් ගනන් ඩේටා තියාගන්න පුළුවන් නිසා මට සැක හිතුනා ඇයි නිකන් ම මයිනින්ග් එන්ජිනියර් කෙනෙක් එහෙම එකක් ඉල්ලන්නේ කියලා.”

“ස්ඵටික මාධ්‍යයක හිරා ගේ දත්ත ගබඩා කර තිබුණා ද?”

“දත්ත විතරක් නෙමෙයි. හිරා ගෙ ස්නැප්ෂොට් එකක් අ‌ප‌ේ තාත්තා යාලුවට කියලා ඒ ඩිස්ක් එකට දාගෙන. මෙහෙම කරා කියලා හොයාගන්න බැරිවෙන්න ආකයිව් එකේ කරප්ට් ෆයිල් එකක් දාලා තියලා. අපේ තාත්තා හරිම සෙන්ටිමෙන්ටල් පොරක්. එයා හිරා ව අරගෙන ගෙදර ගිහින්.”

“එය කොතරම් සතුටුදායක ආරංචියක් ද සනුදි…මට එයාව හමුවන්න හැකි වේවි ද?”

සාරා සිටිනා පරිගණකයට එක වරම කැමරාවක් සම්බන්ධ වූයෙන් ඇයට පිටත ලෝකය දැකගත හැකි විය. සනුදි සමඟ කාමරය තුළ තවත් පුද්ගලයෙක් සිටිනා බව දිස් විය.

“ගුඩ් මෝනින් සාරා…මට සනුදි ඔයා ගැන ගොඩක් දේවල් කිව්වා…ඔයාව හම්බවෙන්න මගේ ගාව යාලුවෙක් ඉන්නවා.”

“ආයුබෝවන්, නිධික.”