“සවින්ද්‍ර, රිෆයිනරි එකේ පොඩි අවුලක් ගිහින්, ඔයාට විනාඩි පහක් ඇවිල්ලා බලලා යන්න පුළුවන්ද?”
මගේ නිවාඩු දවසටත් කෙළ උනේ අන්න එහෙම.
යුරෝපා ඉඳන් ආපු බඩු තොගයකින් අමාරුවෙන් ‘ශ්‍රී ලංකා බටු මෝජු’ රසකාරකය (මේක නම් ලංකාවේ එකෙක්ට බටු මෝජු රස කියල අඳුරන්න අමාරුයි) සල්ලි දීලා අරන්, පරණ චිත්‍රපටියක් හොලෝ එකේ දාගෙන බන්කර් ඇඳේ වාඩි වෙලා බලන්න හිටපු මට, හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් කෝපොරේෂන් එකේ හැත්ත එදා වත් පාඩුවේ ඉන්න දෙන පාටක් තිබ්බේ නෑ.
ඒ වෙනකොට මම ට්‍රයිටන්-කැන්ටලූප් බේස් එකේ අවුරුදු අටක් විතර වැඩ කරලා තිබ්බා. වහල් වැඩකාරයෙක්ට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගෙවන මේ රස්සාවට මම ආවෙ ඇයි කියල මටවත් හිතාගන්න බෑ. අභ්‍යවකාශයට ගිහින් බලන්න තියන ආසාවට වෙන්න ඇති කියල තමයි මම දැනට නම් හිතාගෙන ඉන්නෙ. අභ්‍යවකාශයට ගිහින් බලන අස්සෙ මේ වගෙ කබ්බ රස්සාවක් කරන්න වෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ කවුද?
"ජෝන් ට බලන්න බැරි වෙයිද?" මම හොලෝ එක අරන් සුපර්වයිසර් ගෙ පණිවිඩයට පිලිතුරක් යැව්වා. ජෝන් කියන්නෙ අද මගෙ වෙනුවට වැඩට ඉන්න එකා.
"එයා මොනවද කරලා බලලා. ඒත් හරිගිහින් නෑ. ඔයා ඇවිල්ලා බලනකන් එයාට ෂුවර් නෑ ලු. අනේ ඔයාට මේක ඉක්මනට හදන්න පුලුවන් වෙයි. ටිකක් ඇවිල්ලා බලන්නකෝ."
මම හොලෝ එකෙන් ඩියුටීරියම් පිරිපහදු යන්ත්‍ර වල තත්වෙ ඕන වෙලාවක බලාගන්න පුළුවන් විදියට පොඩි ඇප් එකක් ලියල තිබ්බෙ. ඒකෙන් සිද්දිය බලලා, ජෝන් ට මොනව හරි හදන විදියක් කියල දීලා මගේ නිවාඩු දවසෙ ආතල් එක කුඩු වෙන්න නොදී ෂේප් එකේ ඉන්න හිතාගෙන මම සුපර්වයිසර් ට රිපලයි නොකරම ඇප් එක ඇරල බැලුවා. තුන්වෙනි ඩියුටීරියම් ද්‍රවීකරණ ඒකකෙයේ ද්‍රව ඩියුටීරියම් වල පීඩනය අඩු වෙලා. අයිස් හැටියට අපට ලැබෙන ඩියුටීරියම් හයිඩ්‍රජන් වගේ වෙනත් සංඝටක වලින් වෙන් කරලා, අධිපීඩන කුටි වල බහා ශීත කිරීමෙන් පස්සෙ තමයි ඒවා පාවිච්චියට යවන්න පුළුවන්. මේකෙ කොහෙ හරි ප්‍රෙෂර් එක අඩු උනොත් අපිට දවසට එළියට දාන්න පුළුවන් ඩියුටීරියම් ප්‍රමාණය අඩු වෙනවා.
ඒ ටැංකියේ සීල් එකක් අද මාරු කරන්න තිබ්බ බව මට මතක් උනා. ඒක හරි නම් අද කරලා තියෙන්න ඕන. කවුරු හරි නාලා කියල මට හිතුනා. අද මගේ නිවාඩු දවස, මොනවා හරි චෙක් කරන්න ලැයිස්තුවක් අද වැඩට ඉන්න උන්ට යවලා මට බන්කර් එකට වෙලා ඉන්න අයිතිය තිබ්බා. ඒත් හිතේ කොනක ඉන්න පරයෙක් හෙමීට ඇන ඇන “ගිහිං බලපං, කෙල උනොත් ඔක්කොම ඉවරයි” කියල කොඳුරනවා. මොනව කරන්නද ඉතින්.
වැඩ කරන්න අඳින ආරක්ෂක ඇඳුම දාගෙන රිෆයිනරි එකට ගිහන් බලද්දි පීඩනය අඩු උනාම කවුරුහරි ද්‍රවීකරණ ටැංකි අංක 3ට එන ඩියුටීරියම් පොම්පයෙ ක්‍රියාකාරිත්වය වැඩි කරලා, ඒත් ප්‍රෙෂර් එක හරි ගිහල්ලා නෑ කියල මට පෙනුනා.
මාරු කරපු සීල් එකේ මොකක් හරි අවුලක් තියෙන්න ඕන. මේකට දාන්න ඕන ඩියුටීරියම් ද්‍රවීකරණය වන සෙල්සියස් අංශක -246ක උෂ්ණත්වය දරාගන්න පුලුවන් LDS-7743-DHX සීල් වර්ගය. මොකෙක් හරි මේක මාරු කරපු කෙනා දාලා තියෙන්නෙ LDS-7743-NLX සීල් එක - ඒක වැඩ කරන්නෙ සෙල්සියස් අංශක -196ක් වෙනකන් විතරයි. ඒ කියන්නෙ සීල් එක දරාගන්න බැරි ගානට සීතල වෙලා, වැඩියෙන් සංකෝචනය වෙලා. මේ සීල් එක තියෙන්නෙ ඩියුටීරියම් කරකවන්න ටැංකියට එන දණ්ඩ ටැංකියට හයිකරල තියන තැන. සීල් එක තියන තැන බැලුවම හිතුවත් වගේ ඩියුටීරියම් කාන්දු වෙලා එතන වටේට වතුර මිදිලා තියනවා මම දැක්කා. සාමාන්‍ය ක්‍රියාමර්ග වලට අනුව ප්‍රෙෂර් එක වැඩි කරන්න කලින් ලීක් එකක් තියනවද කියල බලන්න ඕන.
ට්‍රයිටන් බේස් එකේ හරිහමන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් නෑ. "පිටත ග්‍රහලෝක වල කර්මාන්ත වල වැඩ කිරීම" වගේ මාර ප්‍රාථමික පුහුණුවක් තමයි දෙන්නෙ. මේ බේස් එකේ වැඩ කරන විදිහ අනිත් අයගෙන් අහගෙන ඉගෙන ගෙන කරන්න ඕන. අලුත් අයව පුහුණු කරන්න විදියක් හදමු කියල මම හැම මාසෙකටම සැරයක් ලොක්කන්ට මෙසේජ් දානවා. මෙහෙම දෙයක් වුනාම වත් උන් ගණන් ගනී ද දන්නෙ නෑ. හරියට ට්‍රේන් කරපු නැති උන්ව වැඩට දාලා මේ බේස් එකම පරමාණු බෝම්බයක් වගේ පුපුරපු දවසට උන්ට තේරෙයි, ඒත් ඒ වෙනකොට අපි මැරිල ඉවරයි.
මම 3වෙනි ටැංකියේ දෙවෙනි බටයත් ඇරලා ඊළඟ ටැංකියට වැඩිපුර ඩියුටීරියම් පොම්ප වෙන්න හැදුවා. ඒකෙන් 3වෙනි ටැංකියේ පීඩනය අඩු වෙලා සීල් එකෙන් ඩියුටීරියම් කාන්දු වෙන එක අඩු කරගන්න පුලුවන් උනා. එතනින් වැඩේ හරිගියානම් මදෑ. ටැංකි අංක 3 ඇතුලේ පීඩනය අඩු වෙද්දී, 2වෙනි ඩියුටීරියම් ද්‍රවීකරණ ටැංකියට ප්‍රෙෂර් එක වැඩි උනා. පීඩනය වැඩි වෙද්දි ඒ ටැංකියේ මම කලින් හොයාගත්ත අවුලක් මතක් වෙලා මට සීතල දාඩිය දාන්න ගත්තා. 2වෙනි ටැංකියේ සිසිල්කාරක කොයිල් එක සෑහෙන පැලිලා ඒ ටැංකියේ කොහොමත් උෂණත්වය දැන් මාස 6කට විතර කලින් ඉඳන් පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බෙ, ලොකු ගානකින් නෙමෙයි, අංශක දෙක තුනකින්. මේ කොයිල් එක තමයි අධිපීඩනයට ලක් කරපු ඩියුටීරියම් වලින් පිටවන තාපය එළියට ඇදලා දාන්නෙ. මගේ හොලෝ ඇප් එක ඇරලා බැලුවම මම කොයිල් එක දිරලා කියලා මාස 6කට කලින් බේස් එකටම යවපු පණිවිඩයක් මම දැක්කා. හදන්න බජට් නෑ කියලා හොකයිඩෝ එකේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් දාලා තිබ්බ පිලිතුරත් මම දැක්කා. මේ මැනේජ්මන්ට් කාරයො ඉන්නෙ බ්‍රහස්පති ළඟ යුරෝපා වල. කිලෝමීටර මිලියන ගානක් එහා ඉන්න උන් ට ට්‍රයිටන් බේස් එක නිකං අංක ගොඩක් විතරයි. අපි ඉල්ලන කිසිම දේකට වැදගත්කමක් දෙන්න උන් ලෑස්ති නෑ.
මම බලාගෙන ඉද්දිම දිරච්ච කොයිල් එක තිබ්බ ඩියුටීරියම් ටැංකිය ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙන්න ගත්තා. -249°C...-246°C...-243°C. මගේ මොනිටරින් ඇප් එකේ පෙන්වන ටැංකි උෂ්ණත්වය වැඩි වෙනවා බලන් ඉද්දි මට ලොකු ප්‍රශ්නයක ඉඟියක් දැනුනා. -246ට වඩා වැඩි උනා කියන්නෙ ඩියුටීරියම් ද්‍රවය ඩියුටීරියම් වායුව බවට පත් වෙනවා. ඩියුටීරියම් වායුව ටැංකි අංක 2 ඇතුලේ පිරුනාම පීඩනය වැඩිවෙලා මුලු සිස්ටම් එකේම ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හැබැයි මෙහෙම දෙයක් උනාම ප්‍රෙෂර් එක අඩු කරලා තියාගන්න ස්වයංක්‍රීය ව ඇරෙන කරාමයක් තියනවා. ඒකෙන් ගෑස් ලීක් උනත් එතනම වායුව එළියට ඇදලා දාන්න පුලුවන් ෆෑන් එකක් තියනවා. හැබැයි දන්නවනේ, ගහෙන් වැටිච්ච මිනිහටම තමයි හැම පාරම ගොනාත් අනිනනේ. ෆෑන් එක ගාවට ගිහින් ස්කෑන් කරලා බැලුවම ඒකත් වැඩ කරන්නේ නෑ. ඉලෙක්ට්‍රිකල් එකේ පොරක් ළඟදී ෆෑන් එකට එන විදුලිය මොකක් හරි වැඩකට විසන්ධි කරලා ආපහු හරියට හයි කරලා තිබ්බෙ නෑ. හදන්න ඕන ලොකු අවුලක් උනත් ඊට පස්සෙ හැම සතියෙම මේන්ටෙනනස් වෙලාවෙ මේ වැඩේ විතරක් පස්සට දාලා.
මේ වෙනකොට මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මම විස්තර කරන්නම්. ටැංකි වල ඩියුටීරියම් පීඩනය වැඩි වෙලා රිලීෆ් වෑල්ව් එකෙන් ඩියුටීරියම් වායුව ලීක් වෙනවා. වායුව එතනින් එළයට ඇදලා දාන්න පුලුවන් ෆෑන් එක වැඩ කරන්නේ නෑ. ටැංකි පිටිපස්සෙ ඩියුටීරියම් වායුව එකතු වෙනවා. දන්නවනෙ අපි ඩියුටීරියම් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ මොකටද කියලා. රොකට් එන්ජිම් වලට. ඒ කියන්නෙ ඩියුටීරියමි හොදටම ගිනි ගන්න, පුපුරන වායුවක්. 4%කට වඩා කොහෙ හරි ඩියුටීරියම් තියනව නම් පොඩි ගින්නකින් උනත් බෝම්බයක් වගේ පුපුරන්න පුලුවන්. මම දකිද්දිති වෑල්ව් එකෙන් විනාඩි 40ක් විතර ඩියුටිරියම් වායුව ලීක් වෙලා. මගේ ගණනය කිරීම් වලට අනුව ලීක් වෙච්ච ඩියුටීරියම් වායු ප්‍රමාණය පිපුරුවොත්...ට්‍රයිටන්-කැන්ටලූප් බේස් එක නෙප්චූන්ගේ ලොකුම හඳේ තියන තවත් එක වළක් විතරයි.
මේච්චර ලොකු කේස් එකක් උනාම බේස් එකේ මිනිස්සු හරි බේරගන්න පිටතට යවන්න ඕන. සාමාන්‍යයෙන් නම් බේස් එකේ හැම වෙලේම ඩියුටීරියම් ගෙනාපු පතල් යානා ගොඩක් තියනවා. කට්ටිය ඒකක නග්ගලා යවන්න තියෙන්නෙ. ළඟදී කයිපර් වළල්ලේ කැනීම් කරන විශාලම කාණ්ඩයේ යානාවක් වන හිරානෝ-35 යානයෙන් හෙන ඩියුටීරියම් ගොඩක් ගෙනල්ලා අපේ කැපෑසිටි පිරිලා තිබ්බ නිසා අපේ බේස් එකට ටික කාලෙකට පතල් යානා එවන්න එපා කියලා දැනුම් දීලා තිබ්බා. ට්‍රයිටන් වටේට කක්ෂගත කරලා තිබ්බ ප්ලැට්ෆෝම් වලට මිනිස්සු ගෙනියන්න පුලුවන් කුඩා යානා අපි ගාව තිබ්බත් මේකෙ ඉන්න මිනිස්සු ඔක්කොම ටික ඒවා වල යවන්න ලොකු කාලයක් යනවා. එහෙම බැලුවම බේස් එක පුපුරන්න කලින් ඉවැකියුවේට් කරන්නෙ බැරි බව මට තේරුනා. එක්කෝ මම මේක හදන්න මොකක් හරි කරන්න ඕන, පුලුවන් තරම් අයව බේස් එකෙන් අයින් කරන්න මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕන, ඒත් නැත්තම් පිස්සෙක් වගේ කෑ ගගහ බේස් වටේ දුවන්නත් මට තිබ්බා.
"මේ කඳවුරේ ඉන්න අයව වහාම ඉවත් කරන්න. ඩියුටීරියම් කාන්දුවක් නිසා ලොකු පිපිරීමක් වෙන්න ඉඩ තියනවා." මම මගේ සුපර්වයිසර් ට රේඩියෝ පණිවිඩයක් යැව්වා. ඔහුගේ පිලිතුර වූයේ "එහෙම එක පාරටම කරන්න බෑනේ සවින්ද්‍ර. අපේ නිෂ්පාදනය අඩු උනොත් හොකියිඩෝ කෝපරේෂන් එකේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද කියල ඔයා දන්නවා නේ?"
"හැමෝම මැරුණොත් බේස් අවුට්පුට් එක බින්දුවයි. එතකොට ප්‍රතිචාරය මොන වගේ වෙයි ද?"
ඔහුගේ පිලිතුර වූයේ "හරි" කියා පමණි.
කඳවුරේ නිවේදන පද්ධතිය ක්‍රියාත්මක වන හඬ මට ඇහුනා. "ට්‍රයිටන්-කැන්ටලූප් කඳවුරේ කාර්ය මණ්ඩලය වෙත. කඳවුරේ සුලු අක්‍රමිකතාවයක් නිසා අවදානම් තත්වයක් හට ගෙන තිබෙනවා. කාර්ය මණ්ඩලයට ආරක්ෂක බංකර් වලට ඇතුලු වීමට අවවාද කර සිටිනවා. කරුණාකර කලබල නොවී ඔබට ළඟම ඇති බංකරය වෙත සෙමින් ගමන් කරන්න."
ලීක් වෙච්ච ඩියුටීරියම් වායු ප්‍රමාණය පිපිරුවොත් මේ බේස් එකේ බංකර් තියා බේස් එකක් තිබ්බද කියලවත් හොයාගන්න බැරිවෙනවා. මමත් ඇස් දෙක වහගෙන "නෑ නෑ මුකුත් වෙන්නෙ නෑ" කියල කෑගගහ ඉද්දී ඔක්කොම හරි ගියා නම් කොච්චර ලේසි ද?
මට මේ වෙනකොට ෆෑන් එක කැඩිච්ච නිසා එකතු වෙච්ච ඩියුටීරියම් වායුව බේස් එකෙන් ඉවත් කරන්න විදිහක් හොයන්න උනා. කාලෙකට කලින් මේ වගේ අවස්ථාවකදි පාවිච්චි කරන්න මම ලියපු ක්‍රමවේදයක් මට මතක් උනා. මම හොලෝ එකේ ඒක ඇරලා බැලුවා. ඩොකියුමන්ට් එකේ කොනකින් පෙන්වන ඒකෙ ඉතිහාසය මම බැලුවා:
ලේඛන නිර්මාණය - සවින්ද්‍ර -- 2105.03.04
ලේඛන විවෘත කිරීමේ ලැයිස්තුව -
* සවින්ද්‍ර - 2105.10.15
මම ලිව්වා නම් මම ම කරන්න එපැයි, නේද?
ඌට කරන්න පුලුවන් දෙයක් නැති උනත් මම අද වැඩට ඉන්න ජෝන් ට රේඩියෝවෙන් කතා කළා.
"මචං, මැනේජ්මන්ට් එකෙන් කිව්වට වඩා සීන් එක ටිකක් සීරියස්. මට ඉමර්ජන්සි වෙන්ට් එක අස්සට ගිහන් එයාලොක් ටිකේ සිකුරිටි බයිපාස් කරලා අරින්න වෙනවා."
"මට කරන්න පුලුවන් උදව්වක් තියනවද?"
"මේකෙන් මම ගොඩ ආවෙ නැත්තන්, මගේ බඩු ටික පුලුවන් නම් ලංකාවට යවපං"
මං ඉස්සෙල්ලම පිරිපහදු කරන යන්ත්‍ර, ටැංකි වල පොම්ප ඔක්කොම වහල දාලා ලීක් වෙවී තිබ්බ කරාමය වහල දැම්මා. මම මේ යන ගමන අන්තිමට ඉවර වෙන්නෙ ට්‍රයිටන්ගෙ වායුගෝලයේ. ඒක නිසා ඔක්සිජන් ටැංකියක් තියන එළියේ වැඩ වලට හරියන "ට්‍රයිටන් ඇඳුමක්" මට දාගන්න උනා. ලියල තිබ්බ ක්‍රියාවලියට අනුව මම හදිසි ප්‍රලේඛ කිරීමක් මඟින් පිටතට ඇරෙන සර්විස් වෙන්ට් එකක් අරින්න ඕන. මේක වා අගුලු තුනක් එක පිට එක ඇරලා වායුව පිටතට යවන්න පුලුවන්. සර්විිස් වෙන්ට් එකේ පළවෙනි දොර තිබ්බෙ හරියටම ඩියුටීරියම් ලීක් වෙන ටැංකි අංක 2 ළඟ. මම ඒක ඇරපු ගමන් මම ඊළඟට යන්න ඕන පටු කොරිඩෝව දිගේ ඩියුටීරියම් වායුව පිරෙනවා. ඉන්ධන පිරුණු පරමාණු බෝම්බය ඇතුළට ගිහිල්ලම තමයි මට ඒක නිෂ්ක්‍රිය කරන්න වෙලා තිබ්බෙ.
වා අගුලු 3 අරින්න එක එක විදියේ සිස්ටම් බයිපාස් ගොඩක් කරන්න ඕන. පළවෙනි දොරට නම් මගේ කී කාඩ් එක දාලා මගේ පාස්වර්ඩ් එක දැම්ම ම ආරක්ෂක ක්‍රියාවලිය මඟහැරලා දොර විවෘත කරන්න පුලුවන් උනා. සම්පූර්ණයෙන් ම රිෆයිනරි එකේ තිබ්බ ඩියුටීරියම් වායුව සර්විස් කොරිඩෝවෙ තියන ෆෑන් වලින් ඒක ඇතුළට අදිනකන් මට බලාගෙන ඉන්න උනා. කොරිඩෝවෙ වායු පීඩනය බලලා දොර ලොක් කරන ඩිටෙක්ෂන් සිස්ටම් එකක් දෙවෙනි දොරේ තිබ්බා. හොඳ වෙලාවට මම ලියපු ක්‍රියාවලියෙ මේක හොලෝ එකේ කෝඩ් ටිකක් ලියලා හැක් කරලා දොර අරින විදිය තිබ්බා. හොලෝ එක දොරේ ඇක්සෙස් පැනල් එකට හයි කරද්දී පොඩි හරි විදුලි කාන්දුවක් නිසා චූටි ගිනි පුපුරක් ඇවිල්ලා බේස් එක පුපුරන හැටි මැවිලා පෙනුනා. හොලෝ එකේ කේබල් එක පැනල් එකට ගෙනියද්දී මගේ අත පොඩ්ඩක් වෙව්ලුවා.
කොහොමහරි දෙවෙනි වා අගුලත් ඇරගෙන කොරිඩෝරය් ඉදිරියට ගිහින්, දෙවෙනි වා අගුල ආපහු වහලා (නැත්තන් බේස් එකේ ඔක්සිජන් ටිකත් එළියට යනවා) තුන්වෙනි දොර ගාවට ගියා. තුන්වෙනි දොර කෙලින්ම ට්‍රයිටන්ගෙ තුනී වායුගෝලයට විවෘත වෙන එකක්. කොරිඩෝවේ බිත්තියේ ගහල තිබ්බ වායු මාපකයක ඩියුටීරියම් ප්‍රතිශතය දශම ගනන් වලින් මම බලාගෙන ඉද්දිම වැඩි වුණා. 4.2%, 4.28%, 5.1% - වායුව කොරිඩෝව ඇතුලේ රැස් වුණා. පුපුරන්න පුලුවන් ප්‍රතිශතය ඉක්මවා ගිහින්. අන්තිම වා අගුල අරිද්දි මොනවහරි හුටපටයක් උනා නම් මට ආපහු ලංකාවට එන්න අභ්‍යවකාශ යානාවක් ඕන වෙන්නෙ නෑ; ඩියුටීරියම් ඉන්ධන කරගෙන මට රොකට් එකක් වගේ කෙලින් ම පෘථිවියට යන්න තිබ්බා. බේස් එකෙන් පිටතට විවෘත වන වා අගුලක් අපි කවදාවත් කැඩෙන්න පුලුවන් කම්පියුටර් වලට බාර දෙන්නෙ නෑ. පරණ පහේ අත් දෙකෙන්ම කරකවලා අරින රවුම් අගුලක් තියෙන්නෙ. අරින්න ලේසිම අගුල මේක වුනත් බේස් එක ඇතුලේ වායු පීඩනය පිටත පීඩනයට වඩා වැඩි නිසා වා අගුල ඇරපු ගමන් මාව ට්‍රයිටන් පොළව උඩට වීසි වෙලා යන්න ගියා. හුළං කුණාටුව මැද්දේ කොහොම හරි එල්ලිලා ඉද්දි දෙවෙනි වා අගුලෙන් මෙහා තිබ්බ ඔක්කොම වායු ටික ට්‍රයිටන් වායුගෝලයට මුදා හැරුනා. අන්තිම වායු ටිකෙන් යෝධයෙක් හයියෙන් පිම්බා වගේ මගේ අත අතඇරිලා මාව එළියට වීසි වෙලා ගියා. ට්‍රයිටන් ගෙ ගුරුත්වය පෘථිවියේ ගුරුත්වයෙන් 8%ක් වගේ, ඒ නිසා හයියෙන් වැටෙයි කියල නම් බයක් මට තිබ්බේ නෑ. ඒත් ට්‍රයිටන් වල කැන්ටලූප් ගෙඩියක් වගේ වළවල් තියන පොළවෙ (අපේ බේස් එකට නම ලැබුනෙ මේක නිසා) ගැට්ටක මගෙ සූට් එකේ හෙල්මට් එක වැදිලා මොළේ ටිකක් හෙල්ලුනා. උන්න හැටියට මොළේ පොඩ්ඩක් හෙල්ලිලා බේරෙන්න හම්බුන එක මදැයි.
බේස් එක ඇතුළට ආවෙ කොහොමද කියලත් මට හරියට මතක නෑ. ඇතුළට ආපු ගමන් මං සුපර්වයිසර් ට රේඩියෝ කරලා වැඩේ ගොඩ දැම්ම බව කිව්වා. මිනිහා වැඩි දෙයක් අහන්නෙ නැතුව "ගුඩ් වර්ක්" කියලා විතරක් කිව්වා. ටික වෙලාවකින් තවත් නිවේදනයක් කඳවුර වටේ ප්‍රචාරය වුණා: "ට්‍රයිටන්-කැන්ටලූප් කඳවුරේ කාර්ය මණ්ඩලය වෙත. අවදානම් තත්වය මේ වන විට මඟහැරී ඇති නිසා ඔබට නැවතත් වැඩ පටන්ගත හැකියි. මෙම තත්වය පාලනය කිරීමට වෙහෙසුණු තාක්ෂණික කණ්ඩායමට අපගේ ස්තුතිය පුද කර සිටිනවා."
ආපහු බන්කර් එකට යද්දී මට හොඳටම මහන්සියි, ඔලුවත් රිදෙනවා. සීතල වෙච්ච බටු මෝජු රසැති කෑම එක නොකාම මම නිදාගත්තා.
ඊළඟ දවසෙ ඇහැරුණාම කලින් දවසෙ වෙච්ච දේවල් මතක් වෙලා හිතට දැනුනෙ සැනසුමක් වගේම පොඩි තරහක්. හොලෝ එක බලද්දී මට පණිවිඩයක් ඇවිත් තිබුණා.
"සවින්ද්‍ර,
2105.10.15 දින ට්‍රයිටන්-කැන්ටලූප් කඳවුරේ ඔබ ඉටු කළ කාර්යයන් ගැන අප හට දැනගන්නට ලැබුණා. මම කඳවුරේ සියලුම ලොග් වාර්තා අරගෙන බලද්දී ඔබ ඉතා දක්ෂ ලෙස විශාල විනාශයක් මඟ හරවාගත් බව දුටුවා. මේ ගැන සලකා බලා ඔබව කඳවුරේ උසස්වීමකට මා නිර්දේශ කරනවා. ඔබට මාගේ සුභ පැතුම්. සුභ දවසක්.
මීට,
යටිතල ඉංජිනේරු අධ්‍යක්ෂක"
බේස් එකේ ඇත්තටම වෙච්ච දේ තේරුම් ගන්න පුලුවන් කවුරුහරි එහෙනම් හොකයිඩෝ එකේ ඉන්නවා. ඒත් මේකෙ තියන සිස්ටමැටික් ප්‍රශ්න ගැන මුකුත් දැකලා නෑ වගේ. මොනව කරන්නද, ට්‍රයිටන් බේස් එකේ තවත් දවසක් විතරයි.
ඒත්..සමහරවිට මට මේ ප්‍රොමෝෂන් එක හම්බුනොත් මට ම ඒ දේවල් කරන්න පුලුවන් වෙයිද? අලුත් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්, බජට් කට් නැතුව හරි වෙලාවට අපට අවශ්‍ය බඩු ගන්න හැකියාව වගේ දේවල් මට හදන්න පුලුවන් වෙයිද?
ගෙදර ඉඳන් හිතාගන්න බැරි තරම් දුරක් ඈතට ඇවිල්ලා, ට්‍රයිටන්-කැන්ටලූප් වල වැඩ කරන පොඩි මිනිහෙක් ට උනත් සමහරවිට හොකයිඩෝ ඩීප් ස්පේස් මයිනින්ග් කෝපරේෂන් එකේ ලොකු දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තියනවා කියලා මට හිතුනා.
"සවින්ද්‍ර, අද ජෝන් ලෙඩ වෙලා, ඔයාට එයාගෙ ශිෆ්ට් එකත් අරන් කරන්න පුලුවන් වෙයි ද?"
"හරි, මට පුලුවන්."