සර් මේ...පෘථිවිය ලස්සනයි තමයි...ඒත් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල තව දේවල් ටිකක් බලමුද? මම වැඩි ගානක් ගන්නේ නෑ.
බොහොම හොඳයි සර්...මම දැනගත්තා සර්ව දැක්ක ගමන්ම නිකං ටුවරිස්ට් කෙනෙක් නෙමෙයි, දේවල් හොයල බලල දැනගන්න කැමති කෙනෙක් බව. එහෙනම් අපි තව ඉස්සරහට ගිහන් බලමු.
හරි හරි...අපි සෞරග්‍රහ මණ්ඩලයෙන් ටික දුරක් යනකන් හිස් තමයි...මම සර්ව අන්දන්න නෙමෙයි හදන්නෙ...ඉස්සර වෙච්ච තරු පිපිරීම් වලින් මේ පැත්ත පොඩ්ඩක් සුද්ද වෙලා තියෙන්නෙ...තව ටිකක් ඉස්සරහට ගිය ගමන් බලන්න ඕන තරම් දේවල් තියනවා, පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...ටික වෙලාවක් යද්දී අපේ පොඩි සෞරග්‍රහ මණ්ඩලය තියන ක්ෂිරපථයේ ඔරායන්-සිග්නස් බාහුව පහු කරලා බලන්න දේවල් ගොඩක් අපට හොයාගන්න පුලුවන් වෙයි.
"යානයේ වේගය හා දිශානතිය අනුව තවත් තත්පර 300කට පසුව දැනට සිටිනා අවකාශ ඛණ්ඩාංක වලට නැවතත් ඇතුලු විය නොහැකියි. කරුණාකර තිර මුහුණත මඟින් හෝ වචනයෙන් යානයේ ගමන් පථය තහවුරු කරන්න"
සර්...පේනව නේද අපි දැන් ආලෝක වර්ෂ 4000ක් විතර ගමන් කරලා...කලපු නෙබියුලාව ගාවට ඇවිත්. ලංකාවෙ ලුනාව කලපුව වගේ නේද මේකෙ පාට? මම කිව්වනෙ සර්ට පොඩ්ඩක් ඉස්සරහට ගිය ගමන් නියම බඩු තියනව කියල...ලෝකෙ කොහෙවත් ගිහින් මේ වගෙ දෙයක් බලන්න පුලුවන්ද? මම දන්නව සර් මේ වගේ වැදගත් දෙයක් තේරුම්ගන්න පුලුවන් කෙනෙක් බව. තවත් දිගටම යමු.
තව ආලෝක වර්ෂ 2000ක් ඉස්සරහට ගියොත් සර්ට ලස්සන ෆොටෝ ටිකක් ගන්න නියම ස්පොට් එකක් සෙට් වෙනවා. ඒකෙ නම රාජාලි නෙබියුලාව. තරු දහස් ගනන් හැදෙන "උත්පත්ති කුලුණු" තුන සර්ට පේනවද? ඒව වල හැදෙන තරු වලින්ම ඒවා වල තියන වායු, දූවිලි වළාකුලු එහාට මෙහාට තල්ලු වෙලා තව අවුරුදු මිලියනයකින් විතර ඒවා නැති වෙලා යනවා...හොඳ වෙලාවට අද සර් ආවෙ, නැත්තම් ඊළඟ පාර එද්දී මේක නැති වෙලා තියෙන්නත් ඉඩ තිබ්බා. සර් ෆොටෝ ගත්ත ද? හරි නේ? එහෙනම් ඉස්සරහට යමු.
සර්, අපි මෙච්චර් වෙලාවක් හිටියේ පෘථිවියේ ඉඳන් බැලුවම අමුතු අඳුරක් පේන හරියක. අන්දීස් කඳු වල ජීවත් වෙච්ච මිනිස්සු ඉස්සර අහසේ මේ අඳුරු ප්‍රදේශය බලලා ඒකත් තරු වගේ ම හැඩතල යොදලා රාශි හැටියට පාවිච්චි කළා. ඇක්විලා බෙදුම වගේ අඳුරු ප්‍රදේශ වලින් තමයි මේක හැදිලා තියෙන්නෙ. තව ටිකකින් අපි ඒකෙන් එළියට යනවා, ඊට පස්සෙ තරු එහෙම හොඳට පේන්න ගනියි.
සර්...හැමදාම බලන්න හම්බවෙන්නෙ නැති නෙබියුලා දෙකක් බලාගන්න පුලුවන් ඒත් පාරෙන් පොඩ්ඩක් පිට යන්න වෙනවා...මගේ ගාන පොඩ්ඩක් වැඩි වෙයි ඒත් මේක බලන්න වටිනවා. මොකද සර් හිතන්නෙ? ලොකු ගානක් යන්නෙ නෑ සර් මේක බලන්න හම්බවෙනව නම් මම නම් ඉල්ලන ගානක් ගෙවනවා. ත්‍රිත්ව නෙබියුලාවයි ඔමෙගා නෙබියුලාවයි තමයි අපි දැන් බලන්න යන්නෙ...හරි හරි, ටිකක් වෙලාව යනවා තමයි සර් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. අපි යන ගමන් මම මේ දෙක ගැන ටිකක් කියන්නම්.. ත්‍රිත්ව නෙබියුලාව එක එක ඒවායින් හැදිච්ච තවමත් හරියටම හැඩරුවක් අරගෙන නැති දූවිලි වලාවක්, එක පැත්තක තරු හදලා රතු පාටට පේන දූවිලි වලාකුලක්, අනිත් පැත්තෙන් ඒ ආලෝකය වැදිලා දිලෙන නිල් පාට වලාකුලක්. ඒකටත් එහායින් ඒ දෙකෙන් වැටෙන තඩි හෙවනැල්ලක්. ඔමෙගා නෙබියුලාව අපේ මණ්දාකිණියේ වේගයෙන්ම තරු හදන ෆැක්ටරියක්. ඔමෙගා නෙබියුලාවට නම් සමහර කට්ටිය හංස නෙබියුලාව කියලත් කියනවා, තවත සමහරු පොකිරිස්සා නෙබියුලාව කියලත් කියනවා. එක එක අයට ඒක පේන විදිය වෙන්න ඇති නේ. මට නම් ඒක විශ්වයෙන් කෑල්ලක් ගිලින්න ඉන්න කටක් වගේ පේනනෙ.
දැක්කානේ? මම කිව්ව වගේම ලස්සනයි නේ?
අපි දැන් ඉන්නෙ ක්ෂිරපථයේ නෝරමා බාහුවේ. මේ බාහුව මොකක් හරි හේතුවක් නිසා අපේ මණ්දාකිනියේ අනිත් බාහු වලට වඩා වේගයෙන් කේන්ද්‍රයෙන් එළියට ගමන් කරනවා. ඇයි මේ වගේ ලස්සන මණ්දාකිනියක් එහෙම දාලා යන්න හදන්නේ, නේද?
සර් තව ටික වෙලාවකින් අපි ක්ෂිරපථයේ ඇතුලු තැටියට යනවා. ඊට කලින් මොකද කියන්නෙ, ආචස් තරුපොකුර ලස්සනට පේන හරියක මගේ මල්ලි කෙනෙක් පොඩ් තේ කඩයක් කරනවා... පොඩ්ඩක් නැවතිලා තේ එකක් බීලා යමු නේ? ඒකා හිත හොඳ කොල්ලා, ඌ ලොකු ගානක් ගන්නෙ නෑ. ඔන්න ඉතිං සර් මම කියන හැම එකම සැක කරනවනෙ...සර්ම මල්ලිගෙ කඩෙන් තේ එකක් බීලා බලලා මට කියන්නකො හොඳද නැද්ද කියලා.
අවවාදයයි. යානය වත්මන් දිශානතිය හා වේගය ඔස්සේ ගමන් කළහොත් අධික ගුරුත්වය යටතේ යානයට අප්‍රතිවර්ත්‍ය හානි සිදුවිය හැකියි. කරුණාකර තිර මුහුණත මඟින් හෝ වචනයෙන් යානයේ ගමන් පථය තහවුරු කරන්න.
සර් ට දැන් පේනවා ඇති ක්ෂිරපථයේ මැද පිම්බුණු ප්‍රදේශයක්, ඒ හරියට තමයි අපි ඊළඟට යන්නෙ. මේකත් එක එක පැති වලින බැලුවම කතිරයක්, රටකජු ඇටයක් වගේ හැඩයකටත් පේනවා. අන්තිමට සර්ට මම පෙන්නන්න යන අයිටම් එකට කලින් අපට මේ හරියේ තියන මිලියන ගනන් තරු බලන්න පුලුවන්. ක්ෂිරපථයේ තැටි වල ඇති වෙච්ච ගුරුත්ව ගැටීම් නිසා තමයි මේ හරියෙ මෙහෙම පිම්බිලා වගේ හැදිලා තියෙන්නෙ.
කොහොම කොහොම හරි...දැන් අපි ඇවිල්ලා අපේ ගමනේ අන්තිම හරියේ මුල් හරියට. .මේ හරියේ තියන තරු ක්ෂිරපථයේ මැද්දේ ඉන්න රකුසා වටේට දුවන, එයාට අල්ලන්න බැරි මැස්සො රැළක් වගේ. මේ හරියේ තියන සමහර තරු ආලෝකයේ වේගයන් 3%ක විතර වේගයකින් මණ්දාකිණි මධ්‍යය වටේ භ්‍රමණය වෙනවා.
සර්, අපි පටන් ගත්ත තැන ඉඳන් දැන් ආලෝක වර්ෂ 26,000ක විතර දුරකට අපි දැන් ඇවිල්ලා ඉන්නෙ...ක්ෂිරපථයේ හරි මැද්දට. පේනවා නේද?...හහා ඇත්තටම කියනවා නම් පේන්න දෙයක් නෑ...අපේ මණ්දාකිනිය මැද්දේ තියෙන්නෙ විශාල කලු කුහරයක්. ඒකේ නම සැජිටේරියස් ඒ*. අපේ මුලු ක්ෂිරපථයම කැරකෙන්නේ මේක වටේට තමයි. සර්ට මේකෙ නම් ෆොටෝ ගන්න බැරි වෙයි, ඒත් කලු කුහරය වටේ තියන ආලෝක තැටිය පේනවා නේ, ඒ ඉතිං කලු කුහරය රකුසෙක් වගේ චුට්ට චුට්ච ගිලින පදාර්ථයයි, ආලෝකයයි ඒක වටේට හෙමීට කැරකිලා ඒක ඇතුළට වැටෙන පාර තමයි. ...සර් ඉතින් මම කියන කිසිම දෙයක් පිළිගන්නනෙ නෑ නෙ...මම කියන්නෙ ඇත්තම කතාව සර්.
සර් දැන් අපි ඉන්නෙ සැජිටේරියස් ඒ* කලු කුහරයේ කොනේ. සර්ට පේනව නේ...ආයෙත් වැරදුනා. සර්ට මුකුත් පේන්නෙ නැති කලු පාට තැනට තමයි අපි දැන් යන්න හදන්නේ. හෙමීට මේක ඇතුලට යද්දී සර්ට කාලය කියන දේ එක එක විදියට තේරෙන්න ගනියි, ගනන් ගන්න එපා කලු කුහර එහෙම තමයි. වැදගත්ම දේ අන්තිමට හම්බවෙන දේ ගැන වැඩිය හිතන්නෙ නැතුව ගමන යන එක. අපි ඉස්සරහටම යමු. සර් දන්නවනේ, මම දරු පවුල්කාරයෙක්, පොඩි ගානක් වැඩියෙන් දුන්නට සර්ට වැඩිය දැනෙන්නෙ නෑ නෙ, ඒ උනාට ඒක මට ලොකු දෙයක්.
දැඩි අවවාදයයි. යානය අධික ගුරුත්වයට ලක්ව තිබෙනවා. වත්මන් ගමන් පථයෙන් ඉවත්විය නොහැකියි. දැඩි අවවාදයයි. යානය අධික ගුරුත්වයට ලක්ව තිබෙනවා. වත්මන් ගමන් පථයෙන් ඉවත්විය නොහැකියි. දැඩි අවවාදයයි. යානය අධික ගුරුත්වයට...
ගෙදරක, නාන කාමරයේ සින්ක් එකට කවුරු හරි ටීක් බෝලයක් දාලා තිබ්බා. ටී්ක් බෝලය වතුර බේසමේ වටප්‍රමාණය දිගේ කැරකිලා කැරකිලා අන්තිමට යට පයිප්පයට වැටුණා. ආපහු කවුරුත් ඒ ටීක් බෝලෙ දැක්කෙ නෑ.
සෑහෙන කාලෙකට පස්සෙ ඒ ගෙදර කවුරුත් නැති වෙලා, ගෙදර ජරාජීර්ණ වෙලා ගියා. නාන කාමරේ තිබ්බ සින්ක් එකත් පරණ වෙලා විනාශ උනා. ඒකට වැටිලා තිබ්බ ටීක් බෝලෙට උනේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නෑ...